Post Views: 119 හිටපු කථානායක සහ හිටපු ඇමතිවරයෙකු ලෙස පසුගිය පාලන කාලවල කටයුතු කළ චමල් රාජපක්ෂ මහතා ළඟදීම අත්අඩංගුවට ගැනීමට නියමිත බව වාර්තා වේ. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් කරනු ලබන රජයේ මුදල් වංචා කිරීමේ චෝදනාවකට අදාලව මෙම අත් අඩංගුවට ගැනීම සිදුකිරීමට නියමිත බවත් වාර්තා වේ. 2022 වසරේ මැයි මස 9 වැනිදා සිදුවූ අරගලයේදී තිස්සමහාරාමයේ මාගම ප්‍රදේශයේ පිහිටි තම නිවෙස ඇතුළු දේපළවලට ගිනි තබා විනාශ කළ බවට ව්‍යාජ තොරතුරු ලබා දී රජයෙන් රුපියල් එක්කෝටි පනස්ලක්ෂ විසි දෙදහස් හයසීයක (රු. 1,52,22,600) මුදලක් වංචනිකව ලබා ගෙන ඇති බවට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ලද පමිණිල්ලකට අදාලව කල විමර්ශණ වලදී, හෙලිව ඇත්තේ චමල් රාජපක්ෂ මහතාට අයත් බව පැවසෙන තිස්සමහාරාමයේ මාගම ප්‍රදේශයේ පිහිටි එම දේපළ ඔහුට අයත් නොවන බවයි. මෙම දේපළ වෙනත් පුද්ගලයෙකුගේ නමින් ලියාපදිංචි වී ඇති බව මේ වන විට තහවුරු වී ඇත.එයට අමතරව චමල් රාජපක්ෂ මහතා විසින් අදාළ දේපළ තමන් භුක්ති විඳින බවට දිවුරුම් ප්‍රකාශ මගින් සඳහන් කර ඇති පරිදි නිවෙසක් නොතිබුණු බවත්, එහි වී ගබඩාවක් පමණක් තිබූ බවත් විමර්ශනවලදී හෙළි වී තිබේ. එමෙන්ම, අදාළ දේපළ චමල් රාජපක්ෂ මහතාට අයත් නොවන බව ද තවදුරටත් තහවුරු වී තිබේ. දේපළ අයිතිය පිළිබඳ ගැටලු මතුවීමෙන් පසු, 2023 ජූලි 27 වන දින රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එන්.ආර්. අසෝක මහතාගේ අත්සනින් යුතුව නිකුත් කළ ලිපියක් මගින් එම අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාර්ලිමේන්තු කටයුතු අංශ) ආර්.එම්.එන්.ඊ.කේ. රණසිංහ මහතා විසින් අදාළ ගෙවීම් තම විෂයපථය යටතේ කළ නොහැකි බව හානි පූරණය සඳහා වන කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් වෙත දන්වා තිබේ.කෙසේ වෙතත්, 2023 ජූලි 20 දිනැතිව තක්සේරු දෙපාර්තමේන්තුවේ තක්සේරුකරුවකු විසින් ඉදිරිපත් කරන ලද වාර්තාවක, එම ස්ථානයේ නිවෙසක් තිබූ බවත්, එහි වටිනාකම රුපියල් 1,48,00,000ක් (එක් කෝටි හතළිස් අට ලක්ෂයක්) බවත් සඳහන් කර ඇත. එකී වාර්තා මත පදනම්ව චමල් රාජපක්ෂ මහතා ගේ වී ගබඩාවේ හානිය වෙනුවෙන් රුපියල් 222,600ක් (දෙලක්ෂ විසිදෙදහස් හයසීයක්) සහ සැබවින්ම නොතිබූ නිවෙසක් වෙනුවෙන් රුපියල් 1,48,00,000ක් (එක් කෝටි හතළිස් අට ලක්ෂයක්) වශයෙන් මුළු මුදල රුපියල් 1,50,22,600ක් (එක්කෝටි පනස්ලක්ෂ විසිදෙදහස් හයසීයක්) රජයෙන් ලබාගෙන ඇති බව තහවුරු වී තිබේ. සාවද්‍ය තොරතුරු මත මෙම මුදල් ගෙවීම සම්බන්ධයෙන් රාජ්‍ය මූල්‍ය චක්‍රලේඛයන්ට පටහැණිව කටයුතු කළ රජයේ නිලධාරීන්ට එරෙහිවද ඉදිරියේදී නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බවත් වාර්තා වේ. මෙම වංචාව සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර, චමල් රාජපක්ෂ මහතා පමණක් නොව, මෙම ක්‍රියාවලියට සම්බන්ධ වූ සියලුම පාර්ශ්වකරුවන් සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීමට නියමිත බවත් වාර්තා වේ. Post navigation මාතර බන්ධනාගාරය ඉඩ පහසුකම් සහිතව නව භූමියක ස්ථාපිත කිරීමට පියවර. අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව විසින් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනියව අත්අඩංගුවට ගනී.