සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය කාර්ය සහායක (ක්ෂේත්‍ර මදුරු මර්දන සහායක) තනතුර සදහා 640 දෙනෙකුට ස්ථිර පත්වීම් ලිපි ප්‍රදානය කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම ආයතන ශ්‍රවණාගාරයේ දී සිදු කෙරුනු අතර එම අවස්ථාවේදී අදහස් දක්වමින්, සෞඛ්‍ය කාර්ය සහායක (ක්ෂේත්‍ර මදුරු මර්දන සහායක) ලෙස ස්ථිර පත්වීම් ලබාගැනීමට තවත් පිරිසක් සිටින බවත්, එවැනි ආකාරයේ ස්ථිර පත්වීම් නොලද විවිධ සේවාවන් හි නිරත 6000 කට ආසන්න ප්‍රමාණයක් රාජ්‍ය ආයතන තුළ දැනට සේවය කරමින් සිටින බැවින්, එම සියලු දෙනා සම්බන්ධයෙන් පොදු තීන්දුවක් ගත යුතුව තිබෙන බවත් අමාත්‍යවරයා පැවසී ය.

රාජ්‍ය සේවාවට අනවශ්‍ය ලෙස බඳවා ගැනීම් සිදු නොකරනවා මෙන් ම දැනට බඳවා ගෙන සිටින රාජ්‍ය සේවකයින් ට අවශ්‍ය වෘත්තීමය පුහුණුව සහ දැනුම ලබා දී ඔවුන් යාවත්කාලීන කීරීමේ වගකීම රජය බාර ගන්නා බව ද අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් පැවසීය.
ඒ අනුව වසර 08 කට ආසන්න කාලයක් කොන්ත්‍රාත් පදනම මත වරින් වර සේවය දීර්ඝ කරමින් සේවයේ යොදවා ගත් ක්ෂේත්‍ර මදුරු මර්දන සහායක ලෙස කටයුතු කළ 640 දෙනෙකුට මෙලෙස ස්ථීර පත්වීම් ලිපි ප්‍රදානය කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගන්නා ලදි.

පත්වීම් ලිපි ලබාදීමෙන් අනතුරුව වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පසුගිය කාලපරිච්චේදය තුළ පාර්ලිමේන්තුවේ දී විපක්ෂ මන්ත්‍රීවරයෙක් ලෙස අවස්ථා ගණනාවක දීත්, පාර්ලිමේන්තුවෙන් පිටත දීත් මෙම පත්වීම් ස්ථිර කිරීම පිළිබඳ තමා හඩ නැගූ බවත්, ඉල්ලීම් කළ බවත්, වර්තමානයේ රජයේ සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස මෙම පත්වීම් ප්‍රදානයට මුල් වීමට තමාට අවස්ථාව ලැබීම පිළිබඳව පෞද්ගලිකව ම මේ අවස්ථාවේ සතුටට පත් වන බව ද පැවසී ය.

අද පත්වීම් ලබන මෙම කණ්ඩායම කොන්ත්‍රාත් පදනම මත ඉතා අඩු වැටුපකට වසර අටක් තිස්සේ සිය සේවා සපයමින්, දැඩි කැපවීම් සිදු කරමින් හා ජීවන අරගලයක යෙදෙමින් සිය සේවය ස්ථිර කරගන්නා තෙක් අඛණ්ඩව රැදී සිටි ධෛර්ය සම්පන්න කණ්ඩායමක් ලෙස කටයුතු කිරීම අගය කරන බව ද අමාත්‍යවරයා පැවසීය. මෙම කණ්ඩායමට අනාගතයේ දී සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් සපුරා ගත යුතු ඉලක්කයන් ජයග්‍රහණය කරලීමට වඩා පුළුල්ව දායක විය ශක්තිමත් පිරිසක් බව තමා විශ්වාස කරන්නේ යැයි ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාලනI) වත්සලා ප්‍රියදර්ශනී, (පාලනII) චාමික ගමගේ, (පාලනIII) ප්‍රභාත් යෝගචන්ද්‍ර, අතිරේක ලේකම් (වෛද්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ, අතිරේක ලේකම් (සංවර්ධන) සුනිල් ගලගම, අතිරේක ලේකම් (මහජන සෞඛ්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංග, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, ජාතික ඩෙංගු මර්දන ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය සුදත් සමරවීර, සමස්ත ලංකා සෞඛ්‍ය වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති නීතිඥ සමන්ත කෝරළේආරච්චි ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් සහ පත්වීම්ලාභීන් ද එක්ව සිටියහ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *