එක්සත් රාජධානියේ NMA සමූහයට අයත් කටුනායක නිදහස් වෙළඳ කලාපයේ පිහිටි කර්මාන්ත ශාලාවක් වන NEXT Manufacturing, අධික මෙහෙයුම් පිරිවැය හේතුවෙන් වසා දැමීම සම්බන්ධයෙන් තවත් සාකච්ඡාවක් ඊයේ (23) පැවැත්වුණි.

කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා සහ රැකියා අහිමි වූ සේවකයන්ගේ වෘත්තීය සමිති නියෝජිතයන් අතර කම්කරු අමාත්‍යංශයේදී මෙම සාකච්ඡාව පැවත්වූයේ එයට පෙර දින ඇඟලුම් කම්හලේ පාලනාධිකාරය සහ කම්කරු නියෝජ්‍ය අමාත්‍යවරයා අතර පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.

කම්හල් පාලනාධිකාරිය සමඟ පවති සාකච්ඡාවේදී ඔවුන් අවධාරණය ක‍ර ඇත්තේ, කොවිඞ් වසංගතය ආරම්භ වූ සමයේ සිට මෙම කම්හල අධික පාඩු ලබමින් සිටින බවත් එම පාඩුව මේ දක්වා කාලය තුල ඩොලර් මිලියන 10 ක් පමණ වන බවත් ය.
ඒ අනුව මෙහෙයුම් පිරිවැය අධික වීම හේතුවෙන් මෙම ඇඟලූම් කම්හල අකමැත්තෙන් වුවද වසා දැමීමට සිදු වූ බව පාලනාධිකාරිය වැඩිදුරටත් සඳහන් කර ඇත.
එසේ වුවත් 2800ක් පමණ වූ එම කම්හලේ සේවකයන්ගෙන් රැකියා අහිමි වන 1400ක් පමණ වූ සේවකයන්ට කම්කරු නීතියට අනුව ගෙවිය යුතු වන්දි මුදලට අමතරව වඩා වැඩි වන්දියක් ගෙවීමට තම සමාගම සූදානම් බවද ආයතනය සඳහන් කර ඇත. එයට අමතරව රැකියා අහිමිවන සේවක සේවිකාවන්ට වෙනත් කම්හලක රැකියා ලබා දීමට මැදිහත් වන බවත් පාලනාධිකාරිය සඳහන් කර ඇත.
එහිදී කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා සඳහන් කර ඇත්තේ පූර්ව දැනුම් දීමකින් තොරව කම්හල මෙලෙස වසා දැමීම කම්කරු නීතියට පටහැනි බවයි.
කම්හල වසා දැමීමේ තීරණය සම්බන්ධයෙන් ආයෝජන මණඩලය මෙන්ම කම්කරු දෙපාර්තමේන්තුවද දැනුම්වත් කිරීමට පියවර නොගත්තේ මන්දැයි නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පාලනාධිකාරයෙන් විමසා ඇත.
එහිදි ඔවුන් සඳහන් කළේ කම්හල වසා දැමීමේ තීරණයත් සමග සේවකයන් නොසන්සුන්වීම සැළකිල්ලට ගෙන එම පියවර ගත් බවයි. කෙසේ වෙතත් තම ව්‍යාපාර සමූහයේ මෙරට ක්‍රියාත්මක සෙසු ඇඟලුම් කර්මාන්ත ශාලා දෙක සාර්ථකව පවත්වාගෙන යන බවද ඔවුන් සඳහන් කර ඇත.

පාලනාධිකාරිය සමඟ කල එම සාකච්ඡාවේ අදහස් සහ යෝජනා කම්කරු නියෝජ්‍ය අමාත්‍ය විසින් කම්හලේ වෘත්තීය සමිති හමුවේ ඊයේ (23) ඉදිරිපත් කළේය.
එහිදී වෘත්තීය සමිති නියෝජිතයන් ප්‍රකාශ කළේ හදිසියේ කම්හල වසා දැමීමට ගත් තීරණය සමග තමන්ට එකඟ විය නොහැකි බවයි. එම තීරණය පාලනාධිකාරිය සහ සේවකයන් අතර මීට පෙර ඇති කරගෙන තිබූ ගිවිසුමට අනුව නීත්‍යානුකූල නොවන බව ඔවුන් කියා සිටියේය.
කෙසේ හෝ යළි තමන්ට රැකියා ලබා දීමට පියවර ගන්නා ලෙසද වෘත්තීය සමිති නියෝජිතයන් නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා හමුවේ ඉල්ලා සිටියේය.
එහිදී නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා ප්‍රකාශ කළේ වසා දැමුණු කම්හල යළි විවෘත කරන ලෙස පාලනාධිකාරයෙන් තමන්ද ඉල්ලීමක් කළ බවයි. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් තවදුරටත් සාකච්ඡා කිරීම සඳහා වෘත්තීය සමිතිය සහ පාලනාධිකාරිය අතර සාකච්ඡාවක් පැවැත්වීමට මැදිහත් වන බවද මහින්ද ජයසිංහ මහතා ප්‍රකාශ කළේය.
මෙම සාකච්ඡාවට ආයෝජන මණ්ඩලයේ කටුනායක නිදහස් වෙළඳ කලාපය භාර අධ්‍යක්ෂ රන්ජන් සිබේරා, කම්කරු අමාත්‍යංශයේ ලේකම් එස්.එම්. පියතිස්ස යන මහත්වරුන් මෙන්ම කම්කරු දෙපාර්තමේන්තුවේ බලධාරීන් කිහිප දෙනෙකු සහ කර්මාන්තශාලාවේ සේවක නියෝජිතයන් සහභාගී වූහ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *