රටක පුරවැසියන්ට සිදුවන අසාධාරණයකදී සාධාරණයක් ඉෂ්ඨ කර ගැනීමට ඇති අවසන් ස්ථානය ලෙස අධිකරණය හඳුන්වා දිය හැකියි. එම නිසාවෙන්ම එය පාරිශුද්ධව තිබීමත් ස්වාධීනව තීන්දු තීරණ දීමට අවශ්‍ය වාතාවරණයක් තිබීමත් අත්‍යාවශ්‍යයි. පසුගිය කාලවල වරින්වර අපට අසන්නට දකින්නට ලැබුනු යම් යම් සිදුවීම් අරභයා සාමාන්‍ය ජනතාව තුල අධිකරණයේ විශ්වාසනීයත්වය පිළිබඳව යම් සැක සංකා තත්වයක් ඇති උවත් සමස්තයක් ලෙස ගත්විට මෙරට අධිකරණ හරහා ජනතාවට ඉමහත් සේවාවක් සිදුවන බව නොරහසකි.

රටේ පවතින සම්පත් වල ප්‍රමාණය සහ අධිකරණ ක්‍රියාදාමයට පෙර මහජනතාව සම්බන්ධවන අනිකුත් ආයතනවල කටයුතු කරන රාජ්‍ය නිළධාරීන්ගේ හැසිරීම ආදී කරුණු මත බොහෝ අවස්ථාවල අධිකරණ කටයුතු ප්‍රමාදවීම් සිදුවුවත් ඒවා සියල්ල අධිකරණ ක්‍රියාවලියේ දුර්වලතා ලෙස සැලකිය නොහැක්කේ අධිකරණයේ තීන්දු තීරණ ලබාදෙන්නේ සාක්ෂි සහ සාධක මත පිහිටා විනා හැඟීම් ආවේග මත නොවන නිසාය.

මෙවන් තත්වයක් මත බොහෝ දෙනෙකු පසුගියදා සිදුවූ සිදුවීමක් අරභයා තම අතීත ඇරියස් කවර් කිරීමේ ස්වභාවයක් දක්නට ලැබීම සාධාරණ නොවේ. කල යුත්තේ එවන් සිදුවීමක් සඳහා සාධාරණ විමර්ශණයක් සිදුකර වැරදිකරුවන්ට සමාජයට ආදර්ශයක් ව්න ආකාරයේ දඬුවම් ලබාදීම හා යලිත් එවැනි තත්වයන් ඇති නොවීමට අවශ්‍ය වටපිටාව සකස් කිරීමයි.
එසේ නොවුන හොත් මහේස්ත්‍රාත් සමඟ යම් කිට්ටු සම්බන්ධතාවයක් ඇතිකරගත හොත් ඒ හරහා තමන් පෙනීසිටින නඩුකරවලට වාසිදායක තත්වයක් ඇතිකර ගැනීමට නීතීඥයන්ට හැකියාව ඇති බවට සමාජ මතයක් ඇතිවීම වැලැක්විය නොහැක.

එයට හොදම උදාහරණ මේ දිනවල සමාජ මාධ්‍ය තුල හුවමාරුවන සටහන් තුල ඇත.
මේ එවන් එක් සටහනකි….
(උපුටා ගැනීම)
“අධිකරණ‍යේ ස්වාධීනත්වය උඩ රමණය සහ මරණය …!

මම පහුගිය මාසේ අපේ පවුලේ ගැටුමක් විසඳන්න නිතරම රත්නපුරේ ගියා. ඒ ගිය අතරේ රත්නපුර පොලීසියට සැකකාරයා එක්කරගෙන ගිහිං භාර දුන්නහම පොලීසියේ මහත්වරු කීපදෙනෙක්ම එක ලෝයර් මහත්තයෙක්ගේ නම කියලා කිව්වා එයාව අල්ලන්න අනිවාර්‍යෙන් ඇප ගන්න පුළුවන් කියලා. ඉතිං මම ඇහුවා එහෙම කොහොමද කියලා, එතකොට ඒ පොලිස් නිලධාරීන් කිව්වේ ඒ නීතීඥවරයා මහේස්ත්‍රාත් එක්ක ගොඩාක් හිතවත් වැඩේ ටක්කෙටම කරලා දෙයි කියලා. ඉතිං මට අනික් පැත්තට මතක් උනා ඇප ගන්න එහෙම නම් ඇප නොදී 14 ක් යවලා හිරකරන්නත් ඒ ලෝයර්ම අල්ලන අය ඇති නේද කියලා. මොකද සුළු ගැටුමකදී පවා අපේ එවුන් ට්‍රයි කරන්නේ 14 ක් යවලා පරිප්පුවක් දෙන්න නේ. එහෙම බැලුවාම නිවැරදිකාරයත් දවස් 14 ක් බලු දුක් විඳලා තමයි තමන්ගේ නිර්දෝෂීභාවය ඔප්පුකරන්නේ.

දැන් මට තියෙන ප්‍රශ්නය තමයි ක……… මහේස්ත්‍රාත් චා…… සහ නීතිඥ න….. එකතුවෙලා නඩු කීයක් මේ විදිහට කරන්න ඇත්ද කියන එක. අහිංසකයින් කීයක් 14 ක් යවන්න ඇත්ද? ලොකු ලොකු පොරවල් සල්ලිකාරයෝ කීයකට ඇප දෙන්න ඇත් ද කියන එක. ඒ හරහා මුදල් කොපමණ සොයන්න ඇත්ද ? ක…….. උසාවිය කියන්නේ ඉතිං රජ පවුලේ උදවියත් නිතරම යන එන තැනක් නේ!!. අන්න ඒකයි කියන්නේ අධිකරණය ස්වාධීන තැනක් වෙන්න ඕනෑ කියලා. මෙහෙම ලෝයර් කෙනෙක් අල්ලන්න සල්ලි නැති මනුස්සයෙක්ගේ ඉරණම කොහොම විසඳෙන්න පුළුවන් ද? නිර්දෝෂී මනුස්සයෙක් තමන්ගේ නිර්දෝශීභාවයේ පූර්ව විනිශ්චයේ ඉදලා නිකං හචාපචා ලෝයර් කෙනෙක් අල්ලනකොට වැරදිකාරයා මේවගේ ලෝයර් කෙනෙක් අල්ලලා ගේම ගහනකොට නීතියේ සාධාරණත්වයට මොකද්ද වෙන්න පුළුවන්.

උසාවිය අස්සේ ජංගමයා ඇඬුවා කියලා මරණ දඬුවම ලබපු මනුස්සයෙක් ගැන පහුගිය දවස්වල අපි කතා කළා. ඒ මනුස්සයාට දුරකථනය නිහඬකරලා තියාගන්න අමතක වෙන්න ඇති! ඒත් ඒ අහම්බය මරණය උරුම කළා නේද? දැන් අපි උසාවිය අස්සේ සෙක්ස් කළා කියන පුවතක් ගැන කතා කරනවා. මේ සිදුවීම් දෙක එක මේසේ උඩ තියලා බැලුවාම කොයිතරම් විකාරයි ද? ඒකෙන් පේන්නේ අපේ අධිකරණයට වෙලා තිබෙන දේ.
දැන් ගොඩක් ඉන්නේ නඩුකාර නෝනලා එතකොට ලෝයර් මහත්තයෙක්ට ගොඩ යන්න තියෙන හොඳම ක්‍රමය තමයි නඩුකාර නෝනා කොහොමහරි යාළුකරගන්න එක. එතකොට ඉතිං ඇප ගන්න හිරකරන්න පුළුවන් ජයටම. එහෙම එක දිගට කරගෙන යනකොට නම හැදෙනවා නඩු ඕසෙට එනවා සල්ලි වැසි වැටෙනවා. අනික් පැත්තට ඉතිං දෙන්නටම එකතුවෙලා බිස්නස් එකක් විදිහටත් ඕක කරගෙන යන්න පුළුවන්.
ඒ නිසා නීතියේ පාලනය ස්ථාපනය කරන්න අධිකරණය ස්වාධීන කරන්න කවුරුහරි පාලකයෙක් කල්පනා කරනවා නම් මේ තත්ත්වයන් වෙනස් කරන්න වෙයි. ඒකට ඉතිං ප්‍රතිසංස්කරණයන් බොහෝ ප්‍රමානයක් එඩිතරව කරන්න වෙයි. හැබැයි ඉතිං ඒ වෙනුවෙන් අගවිනිසුරුට විශ්‍රාම ගියාට පස්සේ තානාපති ධුරයක් දීලා හරියන්නේ නෑ. ඒකෙන් වෙන්නේ මේ ප්‍රශ්නය තවත් බරපතළ වෙන එක.
(උපුටා ගැනීම අවසන්)

ඉහත ආකාරයේ මතවාද සමාජය තුල පැතිරීම අධිකරණයේ ස්වාධීනත්වයට එතරම් හිතකර තත්වයක් නොවේ. මේ නිසා අදාල බළධාරීන් ඒ සදහා විධිමත් ආකාරයට කටයුතු කිරීම සිදුකලයුතු වේ. එය මේ වන විට සිදුවෙමින් පවතින බව පෙනී යන ආකාරයේ පුවතක් මේ වනවිට වාර්තා වී ඇත. ඒ පසුගියදා වාර්තා වූ සිදුවීමට අදාල මහේස්ත්‍රාත්වරියගේ වැඩතහනම් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව පියවර ගෙන තිබීමයි.

මේ අතර මෙම සිදුවීම අරභයා සමාජ මාධ්‍යවල සිදුවන පලකිරීම් පුවත් වාර්තා ආදිය නිසා යුක්තිය පසිඳලීමේ ක්‍රියාදාමයට අගතියක් සිදුවන බව සඳහන් කරමින් ශ්‍රී ලංකා නීතීඥ සංගමය නිවේදනයක් නිකුත් කර ඇත.
(උපුටා ගැනීම)

අධිකරණ නිලධාරීන් ඉලක්ක කරගනිමින් සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය හරහා සිදුකරන පළකිරීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිය කනස්සල්ල පළ කරමින් පෙන්වා දී ඇත්තේ, ඇතැම් සමාජ මාධ්‍ය ඔස්සේ මහජනතාව විසින් අධිකරණ නිලධාරීන්ට සහ යුක්තිය පසිඳලීමේ පද්ධතියට අහිතකර ආකාරයෙන් යම් යම් අදහස් සහ සටහන් පළකරමින් සිටින බවය.

“යුක්තිය පසිඳලීමේදී අධිකරණ නිලධාරීන් විසින් ඉටුකරනු ලබන වැදගත්, තීරණාත්මක කාර්යභාරය, අධිකරණයේ ස්වාධීනත්වය සහතික කිරීම සහ ආරක්ෂා කිරීම සඳහා වන දැඩි අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් අධිකරණ හැසිරීම සමාලෝචනය කිරීම සඳහා නීතිය පැහැදිලි ක්‍රියා පටිපාටි ගෙනහැර දක්වයි.
සමාජ මාධ්‍ය සහ අන්තර්ජාල මාධ්‍ය හරහා ඇතැම් පිරිස් අධිකරණ නිලධාරීන්ගේ ඡායාරූප ප්‍රසිද්ධ කර ඇති අතර, කිසිදු සත්‍යතාවයක් හෝ පදනමකින් තොරව ඇතැම් කරුණු දක්වා ඇත. එමඟින් අදාළ ව්‍යවස්ථාපිත අධිකාරියේ අධිකරණ බලයට යටත් වන සහ යටත් වන කරුණු පිළිබඳව වැරදි ආකල්පයක් ඇති විය හැක.
එවැනි දෑ අධිකරණ පද්ධතියට සහ එම ක්‍රියාවලියට සදාචාර විරෝධී වන අතර එමඟින් යුක්තිය පසිඳලීමට අහිතකර තත්ත්වයක් උදාකර දෙනු ඇත.”

එමෙන්ම අදාල නිවේදනය මගින් ශ්‍රී ලංකා නීතීඥ සංගමය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ යම් ප්‍රකාශයක් නිකුත් කිරීමේදී සහ අදහස් දැක්වීමේදී, පරීක්ෂණ ක්‍රියාවලියට අගතියක් විය හැකි හෝ අනවශ්‍ය මහජන පීඩනයකට තුඩු දිය හැකි ඕනෑම හැසිරීමකින් වැළකී සිටින ලෙසටය.
එමෙන්ම ඔවුන් පෙන්වා දී ඇත්තේ, නීති වෘත්තිකයින් ලෙස ඔවුන්ට පැවරි ඇති රාජකාරි සහ නීතිරීති අනුව අවසර ඇති විටකදී හැර ප්‍රසිද්ධියේ හෝ වෙනත් ආකාරයකින් මහජන චෝදනාවලට ප්‍රතිචාර දැක්වීමට හැකියාවක් නොමැති බවය.
එබැවින් ඉහත කරුණු සැලකිල්ලට ගනිමින්, අධිකරණ නිලධාරීන් පිළිබඳව අදහස් දැක්වීමේදී වගකිවයුතු කතිකාවක්, නිසි ක්‍රියාවලියට ගරු කිරීම සහ ගෞරවය ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිය නිවේදනයෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *