හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියාට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවක් ලබා දීමට පොලිස් මූලස්ථානය පියවර ගෙන තිබෙනවා. පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසන්නේ, ඊයේ (01) සිට බලපැවැත්වෙන පරිදි මෙම ස්ථාන මාරුව සිදුකර ඇති බවයි. ඒ අනුව, හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වූ ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක ආරියවංශ වහාම ක්‍රියාත්මක වන පරිදි කන්කසන්තුරය පොලීසිය වෙත මාරු කර යවා ඇත. මේ සඳහා පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය ද හිමිව ඇතැයි වාර්තා වනවා.

ප්‍රධාන පොලිස් පරීක්ෂක අශෝක ආරියවංශ මහතා වසර 23 ක් පුරාවට රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂක ඒකකයේ කටයුතු කල අතර රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධාන පෞද්ගලික ආරක්ෂක නිලධාරියා ලෙස වසර 15 ක්ද සේවය කර ඇත.

මෙම ස්ථාන මාරුවට ආසන්නතම හේතුව ලෙස දැනට හෙලිවන්නේ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු රැඳවුම් භාරයේ සිටින සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන්ට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට දුරකතන ඇමතුමක් ලබාදීමට අවශ්‍ය බව පවසා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන නිලධාරියෙකුට දුරකතන ඇමතුමක් ලබාදීමේ සිද්ධියක් නිසාවෙන් බවයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ පාර්ශවයෙන් කරුණු පැහැදිලි කිරීමක් සිදුකර ඇත.
(උපුටා ගැනීම.)

8 වන විධායක ජනපති රනිල් වික්‍රමසිංහ මහතාගේ කාර්යාලය නිකුත් කල නිවේදනය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියාගේ මාරුවීම සම්බන්ධයෙන් පොලිසිය විසින් මෑතකදී නිකුත් කරන ලද නිවේදනයේ සඳහන් වන්නේ එය හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතාට දුරකථන ඇමතුමක් ලබාදීමට ගත් උත්සාහයක් නිසා සිදුවූවක් බවය.
ඊට අදාළ කරුණු පහත පරිදි වෙයි.
හිටපු මන්ත්‍රීවරයා පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන ඇති බව චන්ද්‍රකාන්තන් මහතාගේ කාර්යාලය රනිල් වික්‍රමසිංහ මහතාට දැනුම් දී තිබුණද ඔහුට එරෙහිව එල්ලවී ඇති චෝදනා පිළිබඳව ඔවුන් දැන සිටියේ නැත. මේ තොරතුරු ලබා ගැනීම සඳහා ඔවුන් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහය ඉල්ලා තිබුණි. චන්ද්‍රකාන්තන් මහතාගේ ආරක්ෂක අංශය විසින් රහස් පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක මාධව හරහා අදාළ සම්බන්ධතාව ඇතිකර ගත හැකි බව දැනුම් දෙන ලදී.
චන්දකාන්තන් මහතා සමග කතා කිරීමට සුදුසු නිලධාරියාගෙන් අවස්ථාවක් ඉල්ලා සිටින ලෙස රනිල් වික්‍රමසිංහ මහතා තම ආරක්ෂක නිලධාරියාට දැනුම් දුන්නේය. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පොලිසියට දුරකථන ඇමතුමක් ලබා ගැනීමට අවශ්‍ය වූ විට එය පොලිස් ආරක්ෂක තොරතුරු හරහා සිදු කිරීම සිරිතය. අත්අඩංගුවේ සිටින කෙනෙකුට කතා කිරීමට අවශ්‍ය වූ විට ඒ දුරකථන ඇමතුමට අවසර ලැබේද නැද්ද යන්න තහවුරු කර ගැනීම පළමුව සිදුකරයි.
මේ අවස්ථාවේ ද රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂක අංශය අදාළ සීඅයිඩී නිලධාරියාට කතා කල අතර, ඔහු සීඅයිඩී අධ්‍යක්ෂවරයාගෙන් උපදෙස් ලබා ගැනීමට අවශ්‍ය බව ඔහුට දැනුම් දුන්නේය.
අදාළ නිලධාරියා නැවත ඇමතුමක් දුන් විට රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂක අංශයට දැනුම් දුන්නේ සීඅයිඩී අධ්‍යක්ෂවරයා අඛණ්ඩ විමර්ශනයක් හේතුවෙන් දුරකථන ඇමතුම සම්බන්ධ කිරීමට නොහැකි බව ඔහුට සැළකළ බවය.
තවද, ආරක්ෂක නිලධාරියා මාරු කරන්නේ නම් එය කල් ඇතිව අදාළ ප්‍රභූවරයාට දැනුම් දීම සාමාන්‍ය සිරිතය. ක්‍රමවේදය ය.
(උපුටා ගැනීම අවසන්)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *