තිරසාර සංවර්ධන ඉලක්ක වලට අනූව මාතෘ මරණ අනුපාතිකය ලක්ෂයකට හැත්තෑව දක්වා අඩුකර ගැනීම ප්‍රමාණවත් වුවත්, ශ්‍රී ලංකාවේ මාතෘ මරණ අනුපාතය වර්තමානය වන විට ලක්ෂයකට මාතෘ මරණ විසිපහක් ලෙසට අඩුකරගෙන ඇති බවත්, එය මෙරට නිදහස් සෞඛ්‍ය ක්ෂේත්‍රය ලබා ගෙන ඇති ජයග්‍රහණයක් වන අතර, එම අගය තවදුරටත් අවම කර ගනිමින් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් මෙරට තුළ තහවුරු කර ගැනීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ අරමුණ යැයි ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා අවධාරණය කරයි.

අමාත්‍යවරයා මේ බව අවධාරණය කර සිටියේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට කාර්යාලයේ වැඩ බලන ආයතන ප්‍රධානී වෛද්‍ය ෆාරුක් කුරේෂී මහතා සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී හමුවීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

ලෝක සෞඛ්‍ය දිනය වෙනුවෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට කාර්යාලය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය එක් ව සංවිධානය කරනු ලැබූ තෙදින මාර්ගගත සම්මන්ත්‍රණ මාලාව ඇසුරින් සකස් කරන ලද විශේෂ විද්වත් වාර්තාව අමාත්‍යවරයාට භාර දීම වෙනුවෙන් මෙම හමුව පැවැත්විණි.

ලෝක සෞඛ්‍ය දිනය සෑම වර්ෂයකම අප්‍රේල් මස 7 වන දිනට යෙදී ඇති අතර මෙවර එම දිනයේ තේමාව සෞඛ්‍ය සම්පන්න ආරම්භයක් – බලාපොරොත්තු සහගත අනාගතයක් ලෙස යොදා ගෙන ඇත.

ලෝක සෞඛ්‍ය දිනය වෙනුවෙන් සෑම වර්ෂයකම විවිධ ජනතාවාදී වැඩසටහන් ක්‍රියාවට නැංවීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සහ මෙරට ලෝක සෞඛ්‍ය සංවිධානය කටයුතු කළ අතර මෙම වර්ෂයේ යෝජිත තේමාව යටතේ මාතෘ හා නව ජන්ම මරණ වැළැක්වීම පිණිස මෙරට සහ ජාත්‍යන්තර ප්‍රජාවේ කැපවීම තහවුරු කරමින් පසුගිය අප්‍රේල් 1,2 සහ 3 යන තෙදින මාතෘ පෝෂණය ,මාතෘ මානසික සෞඛ්‍ය සහ මාතෘ යහ පැවැත්ම යන මාතෘකාවන් යටතේ ක්ෂේත්‍රයට අදාළ විශේෂඥයින්ගේ සහභාගීත්වයෙන් විශේෂ සම්මන්ත්‍රණ මාලාවක් මාර්ගගත ක්‍රමය ඔස්සේ පැවැත්වීමට කටයුතු කෙරිණි.

අමාත්‍යවරයාට බාරදුන් විද්වත් වාර්තාව පිලිබදව අදහස් දක්වමින්, මෙම වාර්තාවේ සදහන් කරුණු පිළිබඳව අවධානය යොමුකරමින් එම කරුණු ක්‍රියාකාරී සැලැස්මට ඇතුළත් කිරිමට පියවර ගන්නා බව පැවසූ අමාත්‍යවරයා මෙවැනි සතුටුදායි තත්ත්වයකට යාමට හැකියාව ලැබී තිබෙන්නේ මෙරට සියලු ම සෞඛ්‍ය වෘත්තිකයන්ගේ දැඩි කැපවීම නිසා බව ද පැවසී ය.

වත්මන් රජය මව්වරුන් සහ දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂණය සහ පෝෂණය කෙරෙහි වැඩි අවදානයක් යොමු කරන බවත්, ඔවුන් මෙරට අනාගත ජීවනාලිය වන බැවින් ඒ සදහා විශේෂිත වැඩසටහන් ද ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය. එමෙන් ම ප්‍රාථමික සෞඛ්‍ය කෙරෙහි දැඩි අවදානයක් යොමු කරන රජය ඒ සදහාම විශේෂ ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බව ද අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙහි දී අනාවරණය කළේ ය.

මාතෘ මරණ අනුපාතය සහ නව ජන්ම මරණ අනුපාතයන් තව දුරටත් අවම කර ගැනීමට අවශ්‍ය වන තාක්ෂණික දැනුම මෙන් ම අවශ්‍යවන සහයෝගීතාවය නිරතුරුව ලබා දීමට කටයුතු කරන බව වැඩබලන ආයතන ප්‍රධානී වෛද්‍ය ෆාරුක් කුරේෂී මහතා මෙම හමුවේ දී අමාත්‍යවරයාට පැවසී ය.

මෙම අවස්ථාවට ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙරට කාර්යාලයේ උපදේශක විශේෂඥ වෛද්‍ය සූසි පෙරේරා, වෛද්‍ය යසාරා සමරකෝන්, වෛද්‍ය සමීර හේවගේ, වෛද්‍ය සුවීන්ද්‍රන් තිරුපති යන මහත්ම, මහත්මීන් ඇතුළුව නිලධාරීන් පිරිසක් ද එක්ව සිටියහ.

එක්වන්න අපගේ සමාජ මාධ්‍යය ජාලා සමග…
🛑ෆේස් බුක්/facebook https://facebook.com/smn24news
🛑යූ ටියුබ්/youtube www.youtube.com/@smn24news
🛑ටෙලිග්‍රෑම්/Telegram t.me/LDVNftqjNP1hM2Zl
🛑බ්ලොග්/Blogger https://smn24news.blogspot.com
🛑ට්විටර්/Twitter (X) twitter.com/smn24lk
🛑ටික්ටොක්/tiktok https://vt.tiktok.com/ZSF55Fjqt/
🛑වට්ස් ඇප්/WhatsApp https://chat.whatsapp.com/I3bIbUXEdpG8wz2ub8Tk6o

Leave a Reply

Your email address will not be published. Required fields are marked *