තෙන්නකෝන් මුදියන්සේලාගේ වංශාලංකාර දේශබන්දු තෙන්නකෝන් යනු මෙරට 36 වන පොලිස්පතිවරයායි. මෙරට ආන්දෝලනාත්මක පත්වීමක් ලද හෙතෙම මේ වනවිටදී ඉතිහාසයේ වැඩිම චෝදනාවන්ට ලක්ව අධිකරණයේ නඩු ගොනුවූ එකම පොලිස්පතිවරයා ලෙස සැලකිය හැක. මෙතෙක් එකී කිසිදු නඩුකරයකින් ඔහු වැරදිකරු හෝ නිවරදිකරු බවට තීරණයක් ලැබී නොමැති වුවත් මෙවන් තත්වයකට සාමාන්‍ය රජයේ සේවකයෙකු පත්වූයේ නම් මෙරට රාජ්‍යයාන්ත්‍රණය ක්‍රියාත්මක වන ආකාරය සහ මෙම සිදුවීමේදී කටයුතු කල ආකාරය තුලින් පැහදිලිවම විද්‍යාමාන වනුයේ දේශපාලන අධිකාරිය සහ ඉහල නිළධාරී පැලන්තිය තම වරිගයා ආරක්ෂාකරන ආකාරයයි.

නීතිය අනුව දේශබන්ධු තෙන්නකෝන් තවමත් ශ්‍රී ලංකා පොලිසියේ පොලිස්පතිවරයා‍යි. නමුත් ඔහුට එකී පොලිස්පති ධූරයේ කටයුතු කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දී ඇති අතුරු තහනම් නියෝගයක් නිසාම මේ වනවිට වැඩබලන පොලිස්පතිවරයෙකු පත්කිරීමට වත්මන් රජය කටයුතු කර ඇත. කොළඹ නාලන්දා විද්‍යාලයයේ ආදි සිසුවෙක් වන දේශබන්ධුගේ සමකාලීනයන් හා පාසල් මිතුරන් විශාල සංඛ්‍යාවක් මෙරට ඉහලම තානාන්තරවල කටයුතු කර ඇති අතර තවත් සමහරු තවමත් එකී තනතුරුවල සිටිති. හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ පටන් ඇදී යන එකී ආදී සිසුන් අතර තිලංග සුමතිපාල වැන්නවුන් සේම කීර්තිමත් ආදි නාලන්දියන්ද බොහෝමයකි.

මෙරට ඉතිහාසය වෙනස්කල ගෝල්ෆේස් අරගලයට එල්ලවූ නින්දිත මැර ප්‍රහාරය වැලැක්වීමට කටයුතු නොකිරීම සම්බන්ධව මහජනතාවගේ දැඩි චෝදනාවට ලක්වූ නමුත් ව්‍යවස්ථා සභාවේ බෙදීමක් තිබියදීත් දේශබන්දු තේන්නකෝන් පොලිස්පති ලෙස පත් කිරීමට පසුගිය රජය කටයුතු කල අතර එය නීතීවිරෝධී යැයි මෙරට පුරවැසියන් අධිකරණය හමුවට ගිය අවස්ථාවෙහි, ඔහු වෙනුවෙන් පෙනී සිටිමින් ඔහු පොලිස්පති කළ යුතු බවට තර්ක කළ නීතිපති දෙපාර්තමේන්තුව මේ වනවිට එම දේශබන්දු ම පතාල අපරාධකරුවන්ටත් වඩා භයානක අයකු ලෙස හැදින්වීම දෛවයේ සරදමක් වැනිය.

දේශබන්ධු කරමුලටම හිරවන්නේ, 2023 වසරේ මාතර වැලිගම ප්‍රදේශයේ පිහිටි W15 හෝටලයට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර සිටියදී ඉකුත් පෙබරවාරි 27 වැනිදා සිට අධිකරණය මගහැර සිටිම ගැන මෙරට මාධ්‍ය හා සමාජ ක්‍රියාකාරිකයන් කල හඬ අවධිකිරීම් නිසාමය. නොඑසේනම් විවෘත වරෙන්තුකරුවෙකුව සිටියදී රිට් ආඥා ඉල්ලමින් අධිකරණය වෙත පෙත්සම් ඉදිරිපත් කිරීමට කටයුතු කල ඔහුට තිබෙන ඉහල සම්බන්ධකම් හරහා තව තව සෙල්ලම් දැක ගැනීමට ඉඩ තිබුනි.

අවසානයේ ඊයේ (19) මාතර අධිකරණය වෙත ඉදිරිපත්වූ ඔහු වෙනුවෙන් නීතීඥයන් 50 කට අධික පිරිසක් ඉදිරිපත්වීමට පමිණීමම මෙරට පවතින ත්‍රාඩ සංස්කෘතිය පෙන්නුම්කරන කැඩපතක් බව ජනතාව අවබෝධකරගත යුතුය. එහිදී දේශබන්දු තෙන්නකෝන් ඇප මත මුදාහරින ලෙස ඔහුගේ නීතිඥවරුන් කරන ලද ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය අද (20) දින ප්‍රකාශයට පත් කරන බවත් මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියම කරනු ලැබීය. එතෙක් රක්ෂිත බන්ධනාගාරගත කල ඔහු අද (20) මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර ඇත.

ඒ අනුව ඔහුගේ ඇප ඉල්ලීම සම්බන්ධ තීන්දුව අද පස්වරු 2.00 ට ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *