ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වැඩ බලන පොලිස්පති තනතුරට පත්කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි.

පොලිස් දෙපාර්තමේන්තුවේ 36 වසරක සේවාවක් හිමි ඔහු පොලිස් කොස්තාපල් තනතුරේ සිට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුර දක්වා විවිධ තරාතිරම්වල සේවය කළ දක්ෂ නිලධාරියෙකි. නව තනතුරට පත් කෙරෙන විට උතුරු මැද නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කල හෙතෙම මීට පෙර අපරාධ හා රථවාහන දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, උතුරු හා මධ්‍යම පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති, පොලිස් සැපයුම් අංශයේ අධ්‍යක්ෂ යන තනතුරුද හොබවනු ලැබීය.

1988 දී පොලිස් විශේෂ කාර්ය බළකායේ කොස්තාපල්වරයකු ලෙස පොලිස් සේවයට එක්වූ වීරසූරිය මහතා, 1992 දි උප පොලිස් පරීක්ෂකවරයකු ලෙස උසස්වීම් ලබා ඇත. කොළඹ විශ්වවිද්‍යාලයේ නීතිවේදී උපාධිධාරියකු ලෙස ශ්‍රී ලංකා නීති විද්‍යාලයේ නීතිඥවරයකු වශයෙන් දිවුරුම් දීමෙන් පසුව සහකාර පොලිස් අධිකාරී තනතුර සඳහා ඔහු පත්වී ඇත. මානව සම්පත් කළමනාකරණය පිළිබඳ ව්‍යාපාර පරිපාලනවේදී උපාධියද ලබා ඇති හෙතෙම නැගෙනහිර ටිමෝරයේ සහ හයිටි රාජ්‍යයේ සාමසාධක මෙහෙයුම් සඳහා සහකාර පොලිස් අධිකාරිවරයකු හා පොලිස් අධිකාරිවරයකු ලෙස එක්ව තිබේ.

මෙම රාජකාරි කාලසීමාව තුළ ​පොලිස්පතිවරුන් දස දෙනකු වෙතින් පොලිස් සේවයට කළ සේවය අගයමින් ප්‍රශංසාත්මක ලිපි ලබා ඇති ප්‍රියන්ත වීරසූරිය මහතා යුධ සමයේදී ත්‍රස්තවාදී ප්‍රහාර දෙකකින් ජීවිතය බේරාගත් ක්‍රියාන්විත රාජකාරීයේද සක්‍රීයව යෙදුනු නිළධාරියෙකි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *