අද (08) පෙරවරුවේ අතුරුගිරියේදී සිදුකල වෙඩිතැබීමකදී ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකු වන සුරේන්ද්‍ර වසන්ත නොහොත් ක්ලබ් වසන්ත මියගොස් තවත් හයදෙනෙකුට තුවාල සිදුවී ඇති බව වාර්තාවේ.

අතුරුගිරිය නගරයේ ඔරලෝසු කනුව ආසන්නයේ ගොඩනැගිල්ලක ආරම්භකල රූපලාවන්‍ය ආයතනයක් විවෘත කිරීමේ උත්සවයකට සුරේන්ද්‍ර වසන්ත සහභාගී වූ අවස්ථාවේදී සුදු පැහැති මෝටර් කාර් රථයකින් පැමිණි වෙඩික්කරුවන් දෙදෙනකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව මූලික විමර්ශණ වලදී හෙළිව ඇත.

මෙම වෙඩි ප්‍රහාරයට ලක්වීමෙන් ජනප්‍රිය ගායන ශිල්පිනියක් වන කේ. සුජීවා සහ මිය ගිය සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ගේ බිරිඳ ද තුවාල ලබා ඇති අතර රෝහල් ගතකල පිරිසෙන් එක් අයෙකු ද මේ වනවිට මියගොස් ඇති බවත් පොලීසිය සදහන් කරයි.

මෙම සිදුවීම සම්බන්ධයෙන් මාධ්‍යයට අදහස් දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා සදහන් කලේ, අදාළ වෙඩි තැබීමෙන් ඝාතනයට ලක්වූ ව්‍යාපාරික සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ගේ බිරිඳගේ බෑගයේ තිබී රිවෝල්වරයක් ද හමුවී තිබෙන බවයි.
එය මේ වනවිට පොලිස් භාරයට ගෙන ඇති බවත්, එය බලපත්‍ර සහිත රිවොල්වරයක්ද නැද්ද? යන්න සම්බන්ධයෙනුත් පරීක්ෂා කරන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේ.

මෙම වෙඩිතැබීමේ සිද්ධිය විදේශයක සිට සැලසුම් කළ එකක් බවට සැක පළකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සදහන් කල අතර දෙපාර්ශවයක් අතර කලක පටන් පැවති ආරවුලක් හේතුවෙන් මෙම වෙඩිතැබීම සැලසුම් කළ බවට අනාවරණ වී ඇති කරුණු ඔස්සේ මෙම සිද්ධියේ ඉදිරි විමර්ශන කටයුතු සිදුකරන බවත් නියෝජ්‍ය පොලිස්පති නීතිඥ නිහාල් තල්දූව මහතා සදහන් කරන ලදී.
කෙසේ වෙතත් නිශ්චිතවම කරුණු කිසිවක් මෙතෙක් අනාවරණ වී නොමැති බවත්, සිද්ධිය සැළ වු වහාම සැකකරුවන් රටින් පළා නොයාමටත් අවශ්‍ය ආරක්ෂක පියවර ගෙන ඇති බවද නිහාල් තල්දූව මහතා එහිදී කියා සිටියා.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *