විශ්වවිද්‍යාල සිසුවෙකු ඇතුළු පස්දෙනකු අත් අඩංගුවට ගෙන පොලිසියට රැගෙන ගොස් කෲර හා අමානුෂික ලෙස වදහිංසා කිරීමේ චෝදනාවකට ලක්ව සිටි තිස්සමහාරාම පොලිසියේ හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනකුට මාතර සිවිල් අභියාචන මහාධිකරණ විනිසුරු චමත් මදනායක මහතා ඊයේ (24) බරපතළ වැඩ සහිත වසර හත බැගින් සිරදඬුවම් නියම කළේය.
එයට අමතරව එම විත්තිකරුවන් තිදෙනාම අගතියට පත් තරුණයන් පස්දෙනාට රුපියල් ලක්‍ෂ පහ බැගින් ලක්‍ෂ 15 ක වන්දියක් ගෙවන ලෙසට ද විනිසුරුවරයා නියෝග කළේය.

2005 වසරේදී තිස්සමහාරාම ප්‍රදේශයේ පිහිටි හෝටලයකට ඇතුළුවී එවකට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටි සිසුවකු ඇතුළු පස්දෙනකු පොලිසියට රැගෙන ගොස් එකී අමානුෂික වධහිංසා කළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් විත්තිකාර පොලිස් නිලධාරීන් තිදෙනාට එරෙහිව 1994 අංක 23 දරන කෲර වධහිංසා වැළැක්වීමේ පනත යටතේ 2008 වසරේදී මෙම නඩුව පවරා තිබිණි. මූලික නඩු විභාගයේදී විත්තිකාර පොලිස් නිලධාරීන් තිදෙනා සම්බන්ධයෙන් වෙනත් චෝදනා යටතේ පවරා තිබූ නඩුවක් තමන් විභාග කොට ඇති බව සදහන් කරමින් මහාධිකරණ විනිසුරු චාමර තෙන්නකෝන් මහතා එම නඩුව විභාග කිරීමෙන් ඉවත් වූ අතර ඒ අනුව සිවිල් අභියාචන මහාධිකරණ විනිසුරු චමත් මදනායක මහතා විසින් නඩු විභාගය පවත්වන ලදී.

අවසන් තීන්දුව ප්‍රකාශයට පත් කිරීමේදී,
පළමු වන විත්තිකාර කොස්ගොඩ පොලිසියේ වර්තමාන පොලිස් ස්ථානාධිපති වන ප්‍රභාත් දේශබන්දු නම් අයට එරෙහිව ගොනුකර තිබූ අධිචෝදනා පත්‍රයේ සඳහන් චෝදනා පහෙන් එක් චෝදනාවකට පමණක් වරදකරු බවට නිගමනය කළ විනිසුරුවරයා ඔහුට බරපතළ වැඩ සහිත වසර හතක සිරදඬුවමක් නියම කළේය. විත්තිකාර පොලිස් ස්ථානාධිපතිවරයා සෙසු චෝදනා හතරෙන් නිදොස් කොට නිදහස් කිරීමට ද විනිසුරුවරයා නියම කළේය.

දෙවන විත්තිකාර ලෙස එවකට තිස්සමහාරාම පොලිසියට අනුයුක්තව සේවය කළ උප පොලිස් පරීක්‍ෂක සන්නස්ගල නමැති නිලධාරියා ඔහුට එරෙහිව ගොනු කර තිබූ අධිචෝදනා පහෙන් හතරකටම වරදකරු බවට නිගමනය කළ විනිසුරුවරයා එක් එක් චෝදනාවකට බරපතළ වැඩ සහිත වසර 7 බැගින් එනම් වසර 28ක සිරදඬුවමක් නියම කර එම සිරදඬුවම් කාලය එකවර එනම් වසර 7 කින් ගෙවී යන ලෙසට ලබාදීමටත් නියම කළේය.

තුන්වන විත්තිකාර පොලිස් සැරයන් කුලතුංග නමැත්තා ඔහුට එරෙහිව ගොනු කර තිබූ අධිචෝදනා පහ අතරින් දෙකකට වරදකරු බවට නිගමනය කළ විනිසුරුවරයා එකී චෝදනා දෙකට වසර 7 බැගින් වසර 14 ක සිරදඬුවම් නියම කර එකී සිරදඬුවම් කාලය එකවර එනම් වසර 7කින් ගෙවී යන ලෙසට ලබාදීමට ද නියෝග කළේය.

රජයේ අධිනීතිඥ දිලිප් බහනු මහතා සමග නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරංජන් පීරිස් මහතා නීතිපතිවරයා වෙනුවෙන් පැමිණිල්ල මෙහෙයවූ අතර නීතිඥ රජිත ජයවික්‍රම මහතා සමග ජ්‍යෙෂ්ඨ නීතිඥ දනුෂ්ක ජයසිංහ මහතා අගතියටපත් තරුණයන් වෙනුවෙන් පෙනී සිටියේය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *