හක්මන එක්සත් ජාතික පක්ෂ සම්බන්ධීකරණ ලේකම්වරයාට 2010 ජනාධිපතිවරණය සමයේදී පහර දී තර්ජනයක කල බවට චෝදනා කරමින් එවකට හක්මන පොලිසියේ හිටපු ස්ථානාධිපතිවරයාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුව අද ලබාදෙන ලදී.

ඒ අනුව, එවකට හක්මන පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කල පොලිස් පරීක්ෂක කමල් අමරසිංහ විසින් සිය පෞද්ගලික මුදලින් රුපියල් එක්ලක්ෂ පනස් දහසක (150,000) වන්දි මුදලක් වින්දිතයාට ගෙවන ලෙසත්, තවත් රුපියල් ලක්ෂයක (100,000) මුදලක් රජය විසින් පෙත්සම්කරුට ගෙවන ලෙසත් තීන්දුවේ සදහන් ය.

2010 ජනාධිපතිවරණය කාලයේ දී එවකට ජනාධිපතිවරණ අපේක්ෂකයා වූ සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් මැතිවරණ ව්‍යාපාරයේ නිරත වූ හක්මන එක්සත් ජාතික පක්ෂ සම්බන්ධීකරණ ලේකම්වරයා වන කේ.ඒ. හේමසිරි විසින් ගොනුකොට තිබූ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම අනුව, පෙත්සම්කරු 2010 වසරේ ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වූ සරත් ෆොන්සේකා මහතාගේ ප්‍රචාරණ කටයුතුවල 2009 වසරේ දෙසැම්බර් 19 වන දින නිරත වී ඇති බවත් එකී ප්‍රචාරණ කටයුතුවලට අදාලව පෝස්ටර් ඇලවීමක නිරතව සිටින විටදී එම ස්ථානයට ජීප් රථයකින් පැමිණි වග උත්තරකාර පොලිස් නිලධාරීන් අලවන පෝස්ටර් පිළිබඳ විමසූ අවස්ථාවේ දී පසුදින පැවැත්වෙන දේශපාලන රැස්වීම සඳහා පෝස්ටර් අලවන බව දැනුම් දී ඇත. එම අවස්ථාවේ දී එවකට හක්මන පොලිස් ස්ථානාධිපතිවරයා වශයෙන් සිටි පොලිස් පරීක්ෂක කමල් අමරසිංහ, පෙත්සම්කරු ඇතුළු පිරිසට අසභ්‍ය වචනයෙන් බැණ වැදී ඇති බව පෙත්සමේ සඳහන් වේ.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව එකී සිද්ධිය මඟින් පෙත්සම්කරුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රීති පද්මන් සූරසේන සහ එස්. තුරෙයිරාජා ගේ එකඟත්වයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු විසින් මෙහි තීන්දුව ප්‍රකාශයට පත්කර තිබෙන අතර අදාළ පහරකෑමට ලක් වීම නිසා පෙත්සම්කරුගේ ඉදිරි දත් 3ක් ඉවත් කිරීමට සිදු වූ බව අධිකරණයේ දී අනාවරණය වූ බව නඩු තීන්දුවෙහි සඳහන්. මෙම පෙත්සමට විරෝධතා ඉදිරිපත් කළ වගඋත්තරකාර පොලිස් නිලධාරීන්, තමන් පලංගසිංහ නමැත්තකු අත්අඩංගුවට ගත් නමුත් පෙත්සම්කරු පිළිබඳ කිසිවක් නොදන්නා බවත්, මෙය ගොතන ලද කතාවක් බවත් කල සදහන පිළිගත නොහැකි බවට අධිකරණය තීරණය කරනු ලැබුවා.

එමෙන්ම, පොලිස් ස්ථානාධිපතිවරයා කළ පහරදීම නිසා පෙත්සම්කරුගේ දත් ඉවත් කිරීමට සිදුවී ඇති බව වෛද්‍ය වාර්තාවේ පැහැදිලිව සඳහන් වී ඇති බව ද තීන්දුවෙහි සඳහන් කල විනිසුරුවරුන් ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමේ දී මෙම සිද්ධිය හේතුවෙන් පෙත්සම්කරුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය ඇති බවට තීන්දු ක‍රන ලදී.

හක්මන හිටපු පොලිස් ස්ථානාධිපතිවරයා නිදහසේ අදහස් ප්‍රකාශ කිරීමට පෙත්සම්කරුට ඇති මූලික අයිතිවාසිකම උල්ලංඝනය කර ඇති බව එම තීන්දුවෙහි සඳහන් වන අතර එවකට හක්මන පොලිස් ස්ථානාධිපතිවරයා වශයෙන් සිටි පොලිස් පරීක්ෂක කමල් අමරසිංහ, එම පොලිසියේ පොලිස් කොස්තාපල් ආර්.එම්.ඩබ්ලිව්.කේ. රත්නායක ඇතුළු පිරිසක් මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබුණා. පෙත්සම්කරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ උපුල් කුමාරප්පෙරුම පෙනී සිටි අතර වගඋත්තරකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ කුවේර ද සොයිසා පෙනී සිටියා. නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ගංගා වාකිෂ්ටආරච්චි මෙම නඩුවට පෙනී සිටින ලදී.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *