පසුගියදා ඇදහැළුණු මහා වර්ෂාව සමග පාදුක්ක වග ඉරිදාපොළ ප්‍රදේශය හරහා ගලා බසිනා වක් ඔයේ ප්‍රචණ්ඩ සැඩ පහර එක්වරම ඉහල ගොස් තිබුනි. එහි ප්‍රථිපලයක් ලෙස කිසිවෙකුත් නොසිතූ පරිදි මධ්‍යම රාත්‍රියේ අඩි 10 ක් පමණ උසට ගංවතුර තත්වය ඉහල ගොස් තිබුනි.

හදිසියේ ඇතිවූ මෙම තත්වය නිසා බොහෝ පිරිස් සියල්ල අත්හැර දමා දිවගොස් උස් ස්ථානවල රැඳී සිටිමින් දිවි බේරාගෙන තිබුණි. මේ මොහොතේ වග ඉරිදාපොළ ප්‍රදේශයේ ජීවත්වන 17 හැවිරිදි චරිත්මා ද සිය සොහොයුරා සහ මිත්තණිය සහ මුත්තණුවන් ද නිවසින් පිටව යන මොහොතේ ඔවුන්ගේ නිවසට ඉදිරිපස නිවසින් ඇසුනු කෑ ගැසීමක හඩක් සවනට වැකුණු චරිත්මා ඒ පිළිබදව විමසිලිමත් වී ඇත.

එහිදී ඇයට පෙනී ගොස් ඇත්තේ සිය නිවසට ඉදිරිපස නිවසේ වෙසෙන පවුලේ දරුවන් දෙදෙනා සිය මාපියන් බේරා දෙන ලෙසට හඩ නගන ආකාරයයි. වහාම ක්‍රියාත්මක වූ චරිත්මා රැහණක්ද රැගෙන එම නිවස දෙසට පිහිනාගොස් ඔවුන් බේරා ගැනීමට කටයුතු කර අනතුරුව දරුවන් දෙදෙනාවද ආරක්ෂිත ස්ථානයක් කරා රැගෙන යාමට කටයුතු කර ඇත.

තම ජීවිතයද ගැන නොතකා අනෙකුගේ දිවි බේරා ගැනීමට නිර්භීතව ඉදිරිපත්වූ 17 හැවිරිදි වියේ පසුවන චරිත්මා ජිනේන්ද්‍රි මාඉටිපේ තවමත් පාසල් වියේ පසුවන අතර ඇය පාදුක්ක සිරි පියරතන විදුහලේ 12 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබයි.

ඇය විසින් එසේ දිවි බේරාගනු ලැබූයේ එම ප්‍රදේශයේම පදිංචි 49 හැවිරිදි ඩික්සන් මධුරංග සහ ඔහුගේ බිරිද ඇතුළු පවුලේ සාමාජිකයින්වයි.

චරිත්මා දියණියගේ මව්පියන් දෙදෙනාම රැකියා කටයුතු සඳහා කොළඹ ප්‍රදේශයේ නැවතී සිටින බැවින් ඇය සහ ඇයගේ සහෝදරයා ආච්චි සහ සීයා සමග මෙම නිවසේ සිටින අතර ඇයගේ සියලු සහතික පත් පොත් පත් ගං වතුරේ ගසාගෙන ගොසිනි.
තම අධ්‍යානික කටයුතු සඳහා අවශ්‍ය සියල්ල ගංවතුරට ගසාගෙන ගියත් ජීවිත දෙකක් බේරා ගත් සතුටු සිතින් ඇය තවමත් පසුවන්නේ තමන්ට අහිමිවූ සියල්ලට වඩා ජිවිතයක වටිනාකම දන්නා නිසාවෙනි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *