2005 වසරේ රාජගිරිය රෝයල් පාක් නිවාස සංකීර්ණය තුළදී ඉවෝන් ජොන්සන් නැමති 19 හැවිරිදි තරුණිය ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු ජූඩ් ශමන්ත ජයමහ නමැති විත්තිකරුට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 12 ක සිර දඬුවම් නියම කර තිබුණි.

කොළඹ මහාධිකරණය විසින් නියම කළ එම දඬුවම ප්‍රමාණවත් නොමැති බවත් පවතින නීතිමය ප්‍රතිපාදන මත සුදුසු දඬුවම් පමුණුවන ලෙස ඉල්ලා නීතිපතිවරයා විසින් අභියාචනාදීකරණයට ඇපෑලක් ඉදිරිපත් කර තිබුණි.
එම පෙත්සම විභාග කළ අභියාචනාදීකරණය සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විත්තිකරුට කොළඹ මහාධිකරණය විසින් පැනවූ වසර 12 ක බරපතළ වැඩ සහිත සිර දඬුවම අහෝසි කොට මරණීය දණ්ඩනය නියම කිරීමට තීන්දු කළේය.

පසුව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් මෙම විත්තිකරුට 2016 වසරේ මැයි මස 17 වැනිදා සමාව ප්‍රදානය කර එම මරණීය දණ්ඩනය ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් බවට පත්කර ඉන් අනතුරුව 2019 වසරේ ඔහුට ජනාධිපති සමාව ප්‍රදානය කර අදාළ විත්තිකරු නිදහස් කිරීමට නියෝග කර තිබුණි.

එකී ජනාධිපති සමාව ලබාදීම තුලින් එවකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන චේතනාන්විතවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (6) තීන්දු කළේය.
ඒ අනුව අදාළ විත්තිකරුට සමාව ප්‍රදානය කර නිදහස් කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ගනු ලැබූ තීරණය බල රහිත කරන බවත් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ඒකමතිකව ප්‍රකාශ කරනු ලැබීය.
එස්.තුරෙයි රාජා, යසන්ත කෝදාගොඩ සහ ජනක් ද සිල්වා යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරුවරු වෙන් වෙන් වශයෙන් තීන්දු තුනක් ප්‍රකාශයට පත්කරන ලදී.

ඒ අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් අදාළ විත්තිකරු සමාව ප්‍රදානය කර නිදහස් කිරීම තුළින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් 12(1) සහ 34(1) යන වගන්ති උල්ලංඝණය කර ඇති බවත් විනිසුරුවරු තීන්දු කළහ.
ඒ අනුව පෙත්සන්කාර පාර්ශ්වයට රුපියල් මිලියනයක වන්දියක් ගෙවන ලෙස මෛත්‍රිපාල සිරිසේනට නියෝග කෙරුණි.
ඊට අමතරව මෙම නඩුකරයට පාදකවන සිද්ධියේදී මිය ගිය තරුණියගේ දෙමව්පියන් වන රොජර් ජොන්සන් සහ කැරලයින් ජොන්සන් යන අයට තවත් ලක්ෂ 10 බැගින් ලක්ෂ 20 ක් වන්දි සහ නඩු ගාස්තු ගෙවිය යුතු බවත් මෛත්‍රිපාල සිරිසේනට අධිකරණය නියෝග කළේය.

ඊට අමතරව උදර්පන නීතිය සහ පවතින නීති හා ජාත්‍යන්තර සම්මුති උපයෝගී කරගනිමින් දැනට විදේශගතව සිටින ජූඩ් ශාමන්ත ජයමහ නමැත්තා සිටින ස්ථානය සොයා ඔහු මෙරටට ගෙන්වාගෙන යළි සිරභාරයට පත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසත් විනිසුරු මඩුල්ල විසින් නීතිපතිවරයාට නියෝග කරනු ලැබීය.

එමෙන්ම, මෙම නඩු තීන්දුව ක්‍රියාත්මක කරන ආකාරය පිළිබඳව සහ එහි ප්‍රගතිය පිළිබඳව මාස දෙකෙන් දෙකට අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසත් විනිසුරු මඩුල්ල නීතිපතිවරයාට නියෝග කළේය.

අද දින තීන්දුව ප්‍රකාශයට පත් කරමින් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු එස්.තුරෙයි රාජා ප්‍රකාශ කළේ අධිකරණය මගින් මරණීය දණ්ඩනය පනවන ලද මෙම විත්තිකරුට 2016 වසරේ මැයි මස 17 වැනිදා සමාව ප්‍රදානය කර එම දඬුවම ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් බවට පත්කර ඇති බවය.
එම අවස්ථාවේදී මෙම විත්තිකරු සමඟ තවත් විත්තිකරුවන් 69 දෙනෙකුට පනවා තිබූ මරණීය දණ්ඩනය ජීවිතාන්තය දක්වා වූ සිර දඬුවමක් බවට පත් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කළ බව තීන්දුවේ සඳහන්වේ.

අනතුරුව 2019 වසරේ ඔක්තෝබර් මස 30 වැනිදා මෙම විත්තිකරුට නියම වී තිබූ ජීවිතාන්තය දක්වා වූ සිර දඬුවමින් ඔහු නිදහස් කරමින් සමාවක් ප්‍රදානය කිරීමට එවක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන කටයුතු කර තිබෙන බවත් විනිසුරුවරයා සඳහන් කළේය.

“ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34(1) ව්‍යවස්ථාව යටතේ වරදකරුවී දඬුවම් නියම වූ සිරකරුවන්ට සමාව දීම සම්බන්ධ ප්‍රතිපාදන ඇතුළත්ව තිබෙනවා. අධිකරණය මගින් වරදකරුවී දඬුවම් ලැබුවෙකුට සමාව දීමේදී ජනාධිපතිවරයා විසින් අනුගමනය කළ යුතු නීති පටිපාටියක් තිබෙනවා. තීන්දුව ලබාදුන් අධිකරණයේ විනිසුරුවරයාගේ වාර්තාවක් කැඳවීම, නීතිපතිවරයාගේ වාර්තාවක් සහ අධිකරණ අමාත්‍යවරයාගේ උපදෙස් ලබා ගැනීම යනාදිය එම සමාව දීමේ නීතිමය පටිපාටියට ඇතුළත්. එහෙත් මෙම විත්තිකරුට අවස්ථා දෙකකදී සමාව ප්‍රදානය කර තිබුණත් එම නීතිමය පටිපාටිය ජනාධිපතිවරයා විසින් අනුගමනය කර නැහැ. ඒ හරහා හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ප්‍රතිපාදන චේතනාවිතවම උල්ලංඝණය කර තිබෙන බව පෙනී යනවා. මහජනතාව සතු පරමාධිපත්‍ය බලය මෙන්ම විශ්වාසයද බරපතළ ලෙස බිඳ හෙළීමට ඔහු කටයුතු කර තිබෙනවා. නීතියේ ආධිපත්‍යය බිඳ හෙලා තිබෙනවා “යනුවෙන් විනිසුරුවරයා සඳහන් කළේය.

ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු යසන්ත කෝදාගොඩ සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් “පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන්, මෙහි විත්තිකරුගේ දෙමව්පියන් සහ විත්තිකරු විසින් පෞද්ගලිකවම කරන ලද ඉල්ලීම් පදනම් කරගෙන සමාව ප්‍රදානය කළ බව හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශවයෙන් සඳහන් කර තිබුණා. එහෙත් විත්තිකරුට සමාව ප්‍රදානය කිරීමේදී ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ අනුගමනය කළ යුතු නීතිමය පටිපාටිය අනුගමනය කර නොමැති බව පැහැදිලියි. ඔහු වගකීම් විරහිත ආකාරයට සහ අතනෝමතික ලෙස සිය බලය අභිබවා කටයුතු කර තිබෙනවා. ඒ අනුව අවස්ථා දෙකකදී මෙම විත්තිකරුට ප්‍රදානය කළ සමාව බල රහිත මෙන්ම නීතියට පටහැනි බව සඳහන් කළ යුතුයි.”

එහෙත් මෙම විත්තිකරුට පනවා තිබූ මරණීය දණ්ඩනය ජීවිතාන්තය දක්වා වූ සිර දඬුවමක් බවට පත් කරමින් 2016 වසරේ මැයි මස 17 වනදා ප්‍රදානය කරන ලද සමාව නීති විරෝධී බවට අධිකරණය විසින් තීන්දු කළත් එහිදී එම සමාව ලද සෙසු සිරකරුවන් 69 දෙනාට මෙම තීන්දුව අදාළ නොවන බවත් විනිසුරු කෝදාගොඩ සිය තීන්දුවේ සඳහන් කර සිටියේය.

විනිසුරු මඩුල්ලේ සාමාජික විනිසුරු ජනක් ද සිල්වා සිය තීන්දුව තුළින් සඳහන් කර සිටියේ “මෙහි විත්තිකරුට ජනාධිපතිවරයා විසින් අවස්ථා දෙකකදී සමාව ප්‍රදානය කර තිබුණත් ඊට හේතු වූ කරුණු පැහැදිලි කිරීමට ජනාධිපතිවරයා අසමත් වී තිබෙන බවයි. ඊට අදාළ කරුණු පැහැදිලි කිරීම් අඩංගු සටහන් පවා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් හමුවුණේ නැහැ. මෙහිදී ජනාධිපතිවරයා බරපතල ලෙස සිය බලය අවභාවිතා කොට තිබෙන ආකාරය පෙනී යනවා. සමාව ප්‍රදානය කිරීම ජනාධිපතිවරයා වෙත පැවරී තිබෙන සුවිශේෂී බලයක්. එය අත්තනෝමතික ආකාරයෙන් පරිහරණය කිරීමට හැකියාවක් නැහැ.” යනුවෙන් විනිසුරුවරයා සඳහන් කර සිටියේය.

කාන්තා හා මාධ්‍ය සාමූහිකය විසින් ඉදිරිපත් කළ මෙම පෙත්සම වෙනුවෙන් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන පෙනී සිටි අතර ශ්‍රී ලංකා නීතිඥ සංගමය වග උත්තරකාර පාර්ශවයක් ලෙස නම් කර තිබු නිසා එම සංගමය වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පිරිස් පෙනී සිටින ලදී. මියගිය තරුණියගේ දෙමව්පියන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා පෙනී සිටියේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *