මෙරට පවතින අමාත්‍යාංශ ගණන විධිමත් ආකාරයට අඩුකර අමාත්‍යාංශ පහළොවක් පමණක් උපයෝගී කරගනිමින් රට පාලනය කළ හැකි බව වෙරිටේ රිසර්ච් ආයතනය පවසයි. “තාර්කික රාජ්‍ය පාලනයක් සදහා වූ ආදර්ශ පත්‍රිකාවක්” යනුවෙන් වෙරිටේ රිසර්ච් ආයතනය නිකුත් කල ප්‍රකාශයකින් මේ බව අනාවරණය කර තිබේ.

එකී ප්‍රකාශනයට අනුව, යෝජිත අමාත්‍යාංශ 15 වන්නේ,

  1. ආරක්ෂක අමාත්‍යංශය.
  2. අධ්‍යාපන හා පර්යේෂණ අමාත්‍යංශය.
  3. මහජන සේවා අමාත්‍යංශය.
  4. විදේශ කටයුතු අමාත්‍යංශය.
  5. ආර්ථික කටයුතු අමාත්‍යංශය.
  6. අධිකරණ අමාත්‍යංශය.
  7. මුදල් හා සැලසුම් අමාත්‍යංශය.
  8. පවුල් හා ප්‍රජා සංවර්ධන අමාත්‍යංශය.
  9. සෞඛ්‍ය අමාත්‍යංශය.
  10. ස්වදේශ හා රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය.
  11. කම්කරු අමාත්‍යංශය
  12. සමාජ හා සංස්කෘතික අමාත්‍යංශය.
  13. පරිසර අමාත්‍යංශය.
  14. වරාය නාවික හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය.
  15. කෘෂිකර්ම අමාත්‍යංශය. යන අමාත්‍යාංශයි.

වෙරිටේ රිසර්ච් ආයතනය විසින් යෝජිත මෙම අමාත්‍යංශ පහළොව යටතේ රට පාලනය කළ හැකි ආකාරය පිළිබදව සවිස්තරව පෙන්වා දෙන වෙරිටේ රිසර්ච් ආයතනයේ විධායක අධ්‍යක්ෂ ආචාර්ය නිශාන් ද මෙල් සදහන් කරන්නේ, මෙහිදී දැනට ඇති අමාත්‍යාංශ ගණනටත් වඩා අඩු ලෙසටත්, තාර්කිකව – කාර්යක්ෂමතාවය සහ ඵලදායීතාවය උපරිම වෙන හැටියට අමාත්‍යාංශ නිර්මාණය කිරීමේ වැදගත්කම මත මෙය සැලසුම් කර ඇති බවයි.
වැඩිදුරටත් අදහස් දැක්වූ ආචාර්ය නිශාන් ද මෙල්, වෙරිටේ රිසර්ච් අධ්‍යනයට අනුව අපේ රටේ අමාත්‍ය මණ්ඩලය හදනකොට කරන ප්‍රධාන වැරදි දෙකක් තියෙනවා. එකක් තමයි නොගැලපෙන විෂයන් එකතු කිරීම. ඒකට ආසන්නතම උදාහරණය තමයි මෑතක් වෙනකන් අපට තිබුනු වනජීවී, සංචාරක සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යාංශය.
ඒ වගේම, ගැලපෙන විෂයන් කොටස් කරන එක තමයි දෙවෙනි වැරැද්ද. උදාහරණයක් ගත්තොත්, මෑතක් වෙනකන් තිබුනු කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ හරිනම් තියෙන්න තිබුනු පොහොර සහ වාරිමාර්ග කියන විෂයන් දෙක තිබුනේ වෙනත් අමාත්‍යාංශවල. මේ වැරදි හැකි උපරිමයෙන් හරි ගැස්සෙන විදිහට තමයි වෙරිටේ ඉදිරිපත් කරන මේ අමාත්‍යාංශ 15 ක ආකෘතිය ගොඩනගලා තියෙන්නේ. යනුවෙන් පැවසීය.
👉
වෙරිටේ රිසර්ච් ආයතනයේ මෙම ආකෘතිය වෙත ඉදිරියේ බලයට පත්වන ආණ්ඩු සිය ඇමති මණ්ඩලය සකස් කරන අවස්ථාවේදී අවධානය යොමු කරනු ඇතැයි යන බලාපොරොත්තු වන බවත් මෙම වාර්තාව සෑම දේශපාලන පක්ෂයකටම භාර දීමට කටයුතු කරන බවත් සදහන් කරන ලදී.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *