Post Views: 149 අතුරුගිරිය ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේ නව අධ්‍යයන හා පරිපාලන ගොඩනැගිල්ල අද (14) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් විවෘත කරන ලදී. රුපියල් මිලියන 550 ක මුදලක් මෙම තෙමහල් ගොඩනැගිල්ල ඉදිකිරීමට වැයකර ඇති අතර තවත් රුපියල් මිලියන 200 ක මුදලක් ඊට අවශ්‍ය ගෘහභාණ්ඩ හා යටිතල පහසුකම් සදහා වැයකර ඇත.සමරු ඵලකය නිරාවරණය කර නව ගොඩනැගිල්ල විවෘත කළ ජනාධිපතිවරයා එහි තැන්පත් කර තිබූ විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් ද තැබීය. මෙරට වැවිලි ක්ෂේත්‍රය සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන තරුණ තරුණයින්ට මෙම ආයතනය ඉතා වැදගත් වෙනවා. හොද අධ්‍යාපනයක් ලබා දීමට පහසුකම් හා පරිසරයක් මෙහි තිබෙනවා. ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේ දැනට ඇති සියලු පහසුකම් සමග මෙම ආයතනය විශ්ව විද්‍යාල අධ්‍යයන ආයතනයක් වශයෙන් සංවර්ධනය කිරීමට පියවර ගන්නා බවත් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව සමග සාකච්ඡා කර ඊට අවශ්‍ය පියවර ගන්නා බවත් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.“ජනාධිපතිතුමා මේ රටේ වගකීම බාර ගත්තෙ ඉතාම දුෂ්කර අවස්ථාවකදීයි. අරගලය අවස්ථාවේ රටේ අගමැතිවරයකු නැතිව සතියක කාලයක් ගත වුණා. රට භාර ගැනීමට කිසිම නායකයෙක් එදා සිටියෙ නැහැ. රනිල් වික්‍රමසිංහ මහතා මේ රට භාරගෙන මහ පාරේ සිටී ගොවියො නැවත ගොවි බිමට යැවීමට අවශ්‍ය පොහොර ටික ලබා දුන්නා. රටට අවශ්‍ය ඉන්ධන ගෙන ඒමට ද කටයුතු කළා.ඒ අනුව අවසන් කන්න දෙකෙහි මේ රටට අවශ්‍ය සහල් නිෂ්පාදනය කිරීමට අපේ ගොවි ජනතාවට හැකියාව ලැබුණා. දැන් තේ වගාව ද නැවත යථා තත්ත්වයට පත්වෙමින් තිබෙනවා. දේශගුණික බලපෑමක් නොවුණහොත් වාර්තා ගත තේ නිෂ්පාදනයක් මේ වසරේදි සිදු කළ හැකියි. අද රටේ ආර්ථිකය ස්ථාවර වෙමින් තිබෙනවා. යනුවෙන්ද අමාත්‍යවරයා පැවසීය. විවෘත කිරීමේ අවස්ථාවට සහභාගී වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදහස් දක්වමින්, “පැරණි වැවිලි කර්මාන්තය වෙනුවට නව කෘෂි ව්‍යාපාරයක් රට තුළ ඇති කරමින් රට ආර්ථික වශයෙන් ඉදිරියට ගෙන යාමට කටයුතු කරන බව” පැවසීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේ මෙරට ග්‍රාමීය ජනතාවගේ දිළිදුකම තුරන් කළ හැක්කේ කෘෂිකර්මාන්තයේ දියුණුව තුළින් පමණක් බවයි. ශ්‍රී ලංකාව ආශ්‍රිතව ඇති රටවල ජනගහනය බිලියන ගණනින් වැඩි වන බවට පුරෝකථනයක් සිදුකර ඇති හෙයින් එම රටවල මධ්‍යම පාන්තිකයන්ගේ ආහාර අවශ්‍යතාවයට සරිලන කෘෂිකර්මාන්තයක් නිර්මාණය කිරීම තුළින් ශ්‍රී ලංකාවේ අපනයන කෘෂි කර්මාන්තය නොවැටෙන තැනකට ඔසවා තැබිය හැකි බවද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය. වැවිලි කර්මාන්තය සඳහා පුහුණු ආයතනයක අවශ්‍යතාව තිබුණෙ 1978 වසරේ සිටයි. එදා එම්.ඩී.එච්. ජයවර්ධන මහතාගේ ආසනය වන මේ ප්‍රදේශයේ මෙවැනි පුහුණු ආයතනයක් ඇති කිරීමට අවශ්‍ය ඉඩම ලබා දුන්නා. එදා මේ ප්‍රදේශය මේ තරම් නාගරික කරණය වී තිබුණේ නැහැ. මෙම ආයතනය ස්ථාපිත කිරීම සඳහා 2016 වසරේ වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා ලෙස නවීන් දිසානායක මහතා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඉදිකිරීම් ආරම්භ කළා. ඉන්පසුව පත් වූ වැවිලි කර්මාන්ත අමාත්‍යවරුන් මෙම වැඩපිළිවෙළ ඉදිරියට ගෙන ආවා.මට මතකයි මෙම ක්ෂ්ත්‍රයේ කටයුතු කළ මගේ මිත්‍රයන්ට පුහුණුව ලැබීමට නුවරඑළියට යාමට සිදු වුණා. අපේ කෘෂිකර්ම නවීකරණ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාමේදී මෙවැනි ආයතන තවදුරටත් ව්‍යාප්ත කළ යුතුයි. රටේ කඩාවැටුණු ආර්ථිකය අද යළි ගොඩනැගෙමින් තිබෙනවා. මෙම තත්ත්වයට පත්වීමට අපට අවස්ථාව ලැබුණේ කෘෂිකර්මාන්තය නිසයි.ඓතිහාසිකවම අපේ කෘෂිකර්මාන්තය අපනයන කෘෂිකර්මාන්තයක් බවට පත්ව තිබුණා. සිංහල රජ සමයේ ධාන්‍ය වර්ග වගා කළා. ඒ වගේම තෙත් කලාපයේ කුළු බඩු වගා කළා. සුදු ජාතිකයන් පැමිණීමෙන් පසු තේ, පොල්, රබර් වගා කළා. නමුත් නිදහසින් පසු අප රටක් ලෙස එතනින් ඉදිරියට ගියේ නැහැ. නිදහසින් පසු සිදු වුණේ ඩී.එස්. සේනානායක මැතිතුමා ආරම්භ කළ වැඩපිළිවෙළ යටතේ අප සහලින් ස්වයංපෝෂිතවීම පමණයි.දැන් අප කටයුතු කරන්නේ රට තුළ කෘෂිකර්ම නවීකරණයක් සිදු කර අපනයන කෘෂි කර්මාන්තයක් ඇති කිරීමටයි. තේ, රබර්, පොල් මෙරට ප්‍රධාන අපනයන බෝග බවට පත්ව තිබුණා. නමුත් සුදු ජාතිකයන් පන්නා දමා අප වතු අත්පත් කර ගැනීමෙන් පසුව ඔවුන් කෙන්යාවට ගොස් තේ වගා කර දැන් අපට තරගයක් ලබා දී තිබෙනවා. වියට්නාමයේ රබර් වගා කර අප රට සමඟ තරග කරනවා. ඒ නිසා මෙම තරගකාරිත්වයට මුහුණදීම සඳහා අප වැවිලි කර්මාන්තය පරිවර්තනයකට ලක් කළයුතුයි. යනුවෙන් පැවසීය. මෙම අවස්ථාවට සහභාගිවීම වෙනුවෙන් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ජනාධිපතිවරයා වෙත සිහිවටන තිළිණයක් ද පිළිගැන්වීය. සබරගමුව පළාත් ආණ්ඩුකාර අධිනීතිඥ නවීන් දිසානායක, කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර,අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ, රජ්‍ය අමාත්‍යවරුන් වන ඩී. බී .හේරත්, කාදර් මස්තාන්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්‍ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක ජාතික වැවිලි කළමනාකරණ ආයතනයේ සභාපති පුෂ්පික සමරකෝන් යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාව ට එක්ව සිටියහ. Post navigation නෙළුම් කුළුනෙන් පැන්න විදේශිකයා රෝහල්ගත කෙරේ. අමාත්‍යාංශ 15 කින් රට කරන හැටි වෙරිටේ රිසර්ච් කියයි.