Post Views: 207 පරිසරය සහ දේශගුණික විපර්යාස සඳහා පොදු එක් නීතියක් ගෙන ඒමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. පසුගිය දින කිහිපයේ සිට මෙරට මුහුණ දිමට සිදුව තිබෙන දැඩි හිරු රශ්මිය අනාගතයේ අයහපත් දේශගුණික විපර්යාසවල සලකුණක් බවද පෙන්වා දුන් ජනාධිපතිවරයා දේශගුණික විපර්යාස අවම කර ගැනීම කෙරෙහි කඩිනම් අවධානය යොමු කිරීමේ වැදගත්කම ද අවධාරණය කළේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ පසුගියදා (07) කොළඹ ෂැංග්‍රිලා හෝටලයේ ආරම්භ වුණු ශ්‍රී ලංකා දේශගුණික විපර්යාස සමුළුව (Sri Lanka Climate Summit) අමතමිනි. “අපේ පෘථිවිය සහ අපේ රට වෙනුවෙන් දේශගුණික ක්‍රියාමාර්ග (Climate Action for our Nation and the Planet)” යන තේමාව යටතේ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසින් පළමු වරට සංවිධානය කළ ශ්‍රී ලංකා දේශගුණික විපර්යාස සමුළුව පසුගිය 07 වන දා ඇරඹුණු අතර එය අදින් (09) අවසන් වෙයි. ගෝලීය වශයෙන් සහ ජාතික වශයෙන් පුළුල් ඉදිරි දැක්මකින් යුතුව දේශගුණික විපර්යාස පිළිබඳ අර්බුදයේ විවිධ පැතිකඩ පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබාගැනීම සහ එමඟින් ආර්ථිකයේ ප්‍රධාන අංශවලට ඇති විය හැකි බාධාවන් පිළිබඳ සොයා බැලීම මෙම දේශගුණික සමුළුවේ අරමුණයි. විමෝචනය අවම වන සහ දේශගුණික විපර්යාස සඳහා ඔරොත්තු දෙන ආර්ථිකයක් කරා සංක්‍රමණය වීමේදී සිදු කළ යුතු ප්‍රතිපත්තිමය වෙනස්කම් පිළිබඳව ද මෙම සමුළුවේදී සංවාදයට ගැනෙයි. වෙන්නායි IIT Madras Research Park හි සභාපති මහාචාර්ය අශෝක් ජුනුජුන්වාලා (Prof. Ashok Jhunjhunwala), ඉන්දියාවේ බලශක්ති පරිසර හා ජලය පිළිබඳ කවුන්සිලයේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය අරුණභා ඝෝෂ් (Dr. Arunabha Ghosh), එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ ශ්‍රී ලංකාව සඳහා වන නිත්‍ය නේවාසික නියෝජිත අසූසා කුබෝටා (Azusa Kubota), ආචාර්ය රොහාන් පෙතියාගොඩ, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති දුමින්ද හුලංගමුව, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ දේශගුණික ක්‍රියාමාර්ග පිළිබඳ මෙහෙයුම් කමිටුවේ සභාපති සහ ඩිල්මා සමූහ ව්‍යාපාරයේ සභාපති ඩිල්හාන් ප්‍රනාන්දු, ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ආනන්ද මලවතන්ත්‍රි යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන්, විදේශීය සංවිධාන නියෝජිතයින්, ව්‍යපාරිකයින් ඇතුළු සම්භාවනීය පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. Post navigation ජනාධිපතිවරණය තියන දිනය ගැන මැතිවරණ කොමිසම කියයි. Foreign travel ban imposed on Diana Gamage