ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරගනිමින් රාජ්‍ය බලය භාවිත කරමින් ආණ්ඩුව විසින් තවත් චක්‍රලේඛයක් ඉදිරිපත් කර ඇති බව පැෆ්රල් සංවිධානය පවසයි.
අද පැෆ්රල් කාර්යාලයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පෙන්වාදුන්නේ සහල් බෙදාදීමේ ව්‍යාපෘතිය, නිවාස බෙදාදීමේ ව්‍යාපෘති, කඳුරට සංවර්ධන සැලැස්ම, සින්නක්කර ඔප්පු ලබාදීමේ වැඩසටහන් වැනි මැතිවරණ ඉලක්ක කරගත් ව්‍යාපෘති සඳහා ප්‍රාදේශීය දේශපාලනඥයින් එකතු කරගැනීම සඳහා දරණ උත්සායක් වශයෙන් එම චක්‍රලේඛය හැඳින්විය හැකි බවයි.

2024 අප්‍රේල් මස 29 දාතමින් ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් අංක PS/SB/Circular/5/2024 දරමින් නිකුත් කර ඇති එම චක්‍රලේඛය මගින් පත්කිරීමට යෝජනා කර ඇති ප්‍රජා උපදේශක කමිටුවලට සාමාජිකයින් පත්කිරීම වෙනුවෙන් කිසිදු නිර්ණායකයක්ද එමගින් ඉදිරිපත් කර නොමැති බවත් ඒ අනුව දේශපාලනාධිකාරියේ අභිමතය පරිදි එම පත්කිරීම් සිදුකරනු ඇති බවත් හෙට්ටිආරච්චි මහතා එම මාධ්‍ය හමුවේදී පැවසීය.
අග්‍රාමාත්‍යවරයාගේ අනුමැතියට යටත්ව ආණ්ඩුකාරවරයා විසින් එම පත්කිරීම් සිදුකරන බවට එම චක්‍රලේඛය මගින් දක්වා ඇති බවත් ඔවුන් දෙදෙනාම නියෝජනය කරනු ලබන්නේ ආණ්ඩුවේ ප්‍රධානතම බලඅධිකාරීන් දෙක බවත් සඳහන් කල හෙට්ටිආරච්චි මහතා ඒ හරහා පැහැදිලිවම පෙනීයන්නේ දේශපාලන බලඅධිකාරිය හරහා මෙම පත්කිරීම් නොවේදැයි ප්‍රශ්න කර සිටියේය.

හෙට්ටිආරච්චි මහතා එහිදී වැඩිදුරටත් පෙන්වාදුන්නේ ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳව පැහැදිලි අදහසකින් යුක්තව ඒ ජනාධිපතිවරණය සඳහා රාජ්‍ය සම්පත් සංවිධානාත්මකව විධිමත්ව යොදාගැනීම මෙම ප්‍රයත්නයේ අරමුණ බවයි. එමෙන්ම ජනාධිපතිවරයා හා අග්‍රාමාත්‍යවරයා මෙවැනි තත්ත්වයක් කිසිසේත් අනුමත නොකල යුතු බවත් මෙවැනි ප්‍රයත්නයන් ගැනීම පිළිබඳව අදාල පාර්ශවයන් ලැජ්ජාවිය යුතු බවත් ඔහු තවදුරටත් පැවසීය.
තවද සංවර්ධන ව්‍යාපෘතීන් නතර කිරීම හෝ සහනාධාර ව්‍යාපෘති නතර කිරීම හෝ සිදුකිරීම සිය යෝජනාව නොවන බවත් අනීතික හා සදාචාරසම්පන්න නොවන ආකාරයෙන් සිදුකරන එවැනි ක්‍රියාදාමයන් නතර කිරීම පමණක් සිදුකල යුතු බවට තමන් යෝජනා කරන බවත් හෙට්ටිආරච්චි මහතා පැවසීය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *