Post Views: 194 ITC රත්නදීප අධි සුඛෝපභෝගි හෝටලය විවෘත කිරීමේ උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුනි. ඉන්දියාවේ ITC හෝටල් සමූහය විසින් ඉන්දියාවෙන් පිටත ඉදිකළ පළමු හෝටලය වන මෙය සදහා ඇමරිකානූ ඩොලර් මිලියන 400 ක ආයෝජනයක් සිදුකර ඇති බව සදහන්ය. සමරු ඵලකය නිරාවරණය කරමින් හෝටලයේ සමාරම්භය සනිටුහන් කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදුකල අතර එම අවස්ථාවට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තුෂ් ජා, ITC රත්නදීප සමූහයේ සභාපති හා කළමනාකරණ අධ්‍යක්ෂ සන්ජීව් පුරි යන මහත්වරු එක්වූහ. මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා, ජනතාව යළි අරගලයකට නොයන ආර්ථික තත්ත්වයක් රට තුළ නිර්මාණය කරන බව පැවසීය. කඩා වැටුණු ආර්ථිකය වසර දෙකක් තුළ යළි ගොඩනැඟීමට හැකිවූ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා නැවත කඩා නොවැටෙන ආර්ථිකයක් රට තුළ ඇතිකර ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට කටයුතු කරන බව ද කියා සිටියේය.වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,ITC සමාගම ශ්‍රී ලංකාවට සාදරයෙන් පිළිගන්නවා. ආසියාවේ පළමු තරු පහේ හෝටලය වන ගාලුමුවදොර හෝටලය මේ අසල පිහිටා තිබෙනවා. ඒවගේම ඉන්දියානු ටාජ් හෝටලය ද මේ ආසන්නයේ පිහිටා තිබෙනවා. සිංගප්පූරුවෙන් පැමිණි ෂැංග්‍රිලා හෝටලයද පිහිටා තිබෙන්නේ මේ ආසන්නයේයි. ඒ සියල්ලන්ටම වඩා උසින් දැන් ITC රත්නදීප හෝටලයද තිබෙනවා. ඒ වගේම ඊට පසුපසින් සිනමන් ලයිෆ් හෝටලය තිබෙනවා. මේ සියල්ල ශ්‍රී ලංකාවේ හෝටල් කර්මාන්තය නියෝජනය කරනවා. ඒවගේම ඔබරෝයි හෝටලය ශ්‍රී ලංකාවට පැමිණි මුල්ම නාගරික හෝටලය වූ අතර බොහෝ කලකට පෙර මෙහි සංචාරක හෝටල් ආරම්භ කළේද ඉන්දියාවයි. ඒ නිසා ඉන්දියාව මෙන්ම සිංගප්පූරුව නියෝජනය කරන හෝටල් මෙහි පිහිටා තිබෙනවා. ඔබට ආසියාවේ කිසිම තැනකින් මෙවැනි සුවිශේෂී ස්ථානයක් ලබා ගත හැකියි කියා මම හිතන්නේ නැහැ. මෙය කොළඹ නගරයේ සහ කොළඹ කේන්ද්‍රකරගත් සංචාරක ව්‍යාපාරයේ සංකේතයක් බවට පත්වනු ඇති බවට සැකයක් නැහැ. ඉන්දියාව තුළ නිර්මාණය කළ කාමර 10,000 කින් යුත් හෝටල් සමූහයෙන් පසු ITC සමාගම ඔවුන් පැමිණිය යුතු හොඳම තැන ලෙස ශ්‍රී ලංකාව තෝරා ගෙන තිබෙනවා. මීට වසර දෙකකට පෙර රට පැවති තත්ත්වය ඔබට මතක බව මා සිතනවා. එදා හිටපු ජනාධිපතිවරයාගේ කාර්‍යාලය වටලා අරගලයක් දියත් වුණා. ජනතාව ඒ සඳහා යොමු වුණේ ආර්ථිකය බිඳ වැටී තිබු නිසයි. නමුත් කඩා වැටුණ ආර්ථිකය වසර දෙකක් තුළ ගොඩනැඟීමට අපට හැකි වුණා .ඒ වගේම නැවත අරගලයක් ඇති නොවන ආර්ථිකයක් බිහි කළ යුතුයි. ඒ සඳහා අවශ්‍ය සැලසුම් අප ක්‍රියාවට නංවනවා. මේ සියලු සැලසුම් මගින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කළ හැකියි. එවිට ජනතාවගේ ජීවන තත්වයද උසස් කළ හැකියි. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, ගෝඨාභය රාජපක්ෂ, අමාත්‍යවරුන් වන ජනාධිපති නීතිඥ අලි සබ්‍රි, ප්‍රසන්න රණතුංග, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්‍ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, හිටපු අමාත්‍ය රවී කරුණානායක, ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් සන්තුෂ් ජා ,ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ITC රත්නදීප සමූහයේ සභාපති හා කළමනාකරණ අධ්‍යක්ෂ සන්ජීව් පුරි මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. Post navigation මැයි දිනයටත් සභාපතිකම නැති වූ මෛත්‍රී. විදෙස් රැකියා දෙන බව කියා කෝටි 20 ක් වංචා කරලා නීතිය තවම නිහඩයි.