Post Views: 234 දිවංගත හිටපු අමාත්‍ය ගාමිණී දිසානායක මහතාගේ 82 වැනි ජන්ම දින සැමරුම් උත්සවය කොළඹ ආනන්ද කුමාරස්වාමි මාවතේ පිහිටි ගාමිණී දිසානායක පිළිරුව අභියසදී ඊයේ (20) පැවැත්විණි. සැමරුම සදහා ප්‍රධාන ආරාධිතයා ලෙස පැමිණි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ගාමිණී දිසානායක මහතා ගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම සිදු කිරීමෙන් අනතුරුව පැමිණි පිරිස අමතමින්, මෙරට වාරි ඉතිහාසය තුළ සුවිශේෂී පරිවර්තනයක් සිදු කරමින් එදා ගාමිණී දිසානායක මැතිතුමා මහවැලි ව්‍යාපාරය ක්‍රියාත්මක නොකළා නම් අද රට සහලින් ස්වයංපෝෂිත කිරීමට නොහැකි වන බවත්, රටට අවශ්‍ය විදුලිය ලබා ගැනීමට නොහැකි වන බවත් පැවසීය. ගාමිණී දිසානායක මහතා පිළිබඳ අතීත මතකය මෙහිදී ආවර්ජනය කළ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ගාමිණී දිසානායක මැතිතුමාගේ කැපවීම සියලුදෙනාට ආදර්ශයක් බවයි.රට නවීන කෘෂි ආර්ථිකයක් කරා ගෙන යන ගමනේ දී, මහවැලි ව්‍යාපාරයෙන් අතහැරණු මහවැලි ඒ සහ බී කලාප කඩිනමින් සංවර්ධනය කර ජනතාවට එහි ප්‍රතිලාභ ලබා දීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී අවධාරණය කරන ලදී. සර්ව ආගමික වතාවත් මධ්‍යයේ ජන්ම දින සැමරුම් උත්සවයේ කටයුතු අරම්භ වූ අතර ශ්‍යාමෝපාලිවංශික මහ නිකායේ මල්වතු පාර්ශ්වයේ කළුතර දිසාවේ ප්‍රධාන සංඝ නායක, වාද්දුව මොල්ලිගොඩ දෙගම්බද මහා විහාරයේ විහාරාධිපති, එක්සත් ජාතික පක්ෂ භික්ෂු පෙරමුණේ සභාපති පූජ්‍ය බෝපිටියේ ධම්මිස්සර නායක හිමිපාණන් වහන්සේ විසින් විශේෂ අනුශාසනාවක් සිදු කළහ.රට වෙනුවෙන් දිවිපිදු සියලු වීරෝධාර රණවිරුවන් සහ 1994 ඔක්තෝබර් 23 වැනි දින ගාමිණී දිසානායක මැතිතුමා සමඟ තොටලග ඛේදවාචකයට මුහුණ දෙමින් මිය ගිය සියලුදෙනා සහ ජාතික නායකයන් මෙන්ම ගාමිණී දිසානායක පදනමේ නිර්මාතෘ අභාවප්‍රාප්ත අධිනීතිඥ ශ්‍රීමා දිසානායක මහත්මිය ඇතුළු සියලුදෙනා සිහිපත් කරමින් විනාඩියක නිශ්ශබ්දතාවයක් ද පැවැත්විණි.උත්සවයේ පිළිගැනීමේ කථාව ගාමිණී දිසානායක පදනමේ උප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මයන්ත දිසානායක මහතා විසින් සිදු කළේය. අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමාර්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රංජිත් මද්දුමබණ්ඩාර, රාජිත සේනාරත්න, වඩිවෙල් සුරේෂ්, හිටපු අමාත්‍ය රවී කරුණානායක, හිටපු රාජ්‍ය අමාත්‍ය චම්පිකා ප්‍රේමදාස, ජනාධිපති වෘත්තිය සමිති පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් සමන් රත්නප්‍රිය යන මහත්වරු ඇතුළු දේශපාලන නියෝජිතයන් රැසක් ද, ගාමිණී දිසානායක මහතාගේ පවුල් ඥාතීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. Post navigation රත්තරං එපා කියූ දුමින්ද කෝප් එකෙන් ඉල්ලා අස්වෙයි. ඉතිහාසයේ පළමු වරට සිංහල දෙමළ අලුත් අවුරුද්දට නැකත් වේලාවන් දෙකක්.