“කෘෂිකර්ම අමාත්‍යාංශයේ එක අංශයක් තිබුනා ඉඩම් ගොඩකිරීමට අනුමැතිය ලබාදෙන අංශයක් මම කිව්වා ඒක වහලා දාන්න කියලා, කෘෂිකර්ම අමාත්‍යාංශයේ වගකීම වගාකරන්න උනන්දු කිරීම මිසක් තියන ඒවාත් ගොඩකරන්න ඉඩදෙන එක නෙමේ” යනුවෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

අමාත්‍යවරයා මෙම අදහස් පලකලේ අද (14) පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කෘෂිකර්ම හා වැවිලි කර්මාන්තයේ ප්‍රගතිය පිළිබඳ සාකච්ඡාව අතරතුරදියි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කෘෂිකර්ම අමාත්‍යවරයා, “බිත්තර වලත් පසුගිය කාලේ ගැටළුවක් තිබුනා. නිෂ්පාදන වියදම හා පාලන මිල අතර ගැටළුවක් තිබුනා, දැන් එය අපි පාලනය කරලා තියනවා, එළඹෙන අළුත් අවුරුදු සමයේදී බිත්තර මිල රුපියල් 70 ට 75 ට ඉහල නැංවීමේ සූදානමක් තිබුනා මම බිත්තර නිෂ්පාදකයන් ගේ සංගමය සමග සාකච්ඡා කරලා එයාලා එකග උනා සතොස ට රුපියල් 40 ට බිත්තර ලබාදෙන්න. දැනට සතොස ආනයනය කරපු බිත්තර තොගයක් තිබෙන නිසා එය අවසන් වූ පසුව ඉදිරි කාලයේදී ජනතාවට දේශීය බිත්තර රුපියල් 42 ට 43ට ලබා ගැනීමේ අවස්ථාව උදාවෙනවා. අපි කෘෂිකර්මාන්තය ඉහල නැංවීමට අවශ්‍ය සෑම පියවරක්ම ගන්නවා” යනුවෙන්ද සදහන් කලේ ය.

මෙම අවස්ථාවට එක්ව සිටි, පාදුක්ක සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මංත්‍රී ජගත් කුමාර සුමිත්‍රආරච්චි මහතා සභාව අමතමින්, “අපිට රටක් විදිහට කෘෂිකර්මාන්තය අතහැරලා කිසි දෙයක් කරන්න බෑ. කෘෂිකර්මාන්තයේ වර්ධනය කරමින් ඉස්සරහට යාමේ අවශ්‍යතාවක් තියෙනවා.”
“ඒ වගේම, පාදුක්ක ප්‍රදේශය ඉතාම ග්‍රාමීය ප්‍රදේශයක් විදියට කෘෂි කර්මාන්තයට වැඩි නැඹුරුවක් තියෙන ප්‍රදේශයක් නිසා අපි හිතුවා මේ ප්‍රදේශයේ ඒ කටයුතු නගා සිටුවන්න.” ඒ සදහා ප්‍රදේශයේ තිබෙන පුරන් කුඹුරු අස්වැද්දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමටද පියවර ගෙන තිබෙන බවත් පැවසීය.
“ඇතැම් අවස්ථාවලදී ඉතාම කෘත්‍රීමව වෙළඳ පල තුල භාණ්ඩ මිල ඉහල නැංවීම කූඨ ව්‍යාපාරිකයන් විසින් සිදුකරවා, එහෙමනම් ඒක සමහර වෙලාවට පාලනය කරන්න කෙටිකාලීනව යම් යම් ආහාර ද්‍රව්‍ය රටට ගේන්න සිද්ධ වෙයි. නමුත් දීර්ඝකාලීනව අපිට හැමදාමත් පිටින් ගේන්න බෑ. ඒ නිසා අපි රටේ කෘෂි කර්මාන්තය නගාසිටුවන්න ඕනේ” යනුවෙන් ද මංත්‍රීවරයා පැවසීය.

මේ අවස්ථාවට, ගොවිජන සංවර්ධන කොමසාරිස් ජනරාල්, පාදුක්ක ප්‍රාදේශීය ලේකම් සුගත් සිසිර කුමාර, ගොවිජන සේවා කොමසාරිස් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූ අතර අඩු ආදායම් ලාභීන්ගේ ජීවනෝපාය ඉහල නැංවීම සදහා පොල්පැල සහ කුකුළු පැටවුන් බෙදාදීම ද සිදුකෙරුනි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *