මේ දිනවල පවතින අධික උෂ්ණත්වය නොතකා බොහෝ පාසල් වල විදුහල්පතිවරු වෙනදා මෙන්ම පාසල් නිවාසාන්තර ක්‍රීඩා තරග පවත්වනු දැකිය හැකියි. මේ තත්වය ගැන වෛද්‍යවරු කෙතරම් උපදෙස් ලබාදුන්නද එවන් තරග පැවැත්වීමේදී එකී මාර්ගෝපදේශ අනුගමනය නොකරන බව සත්‍යයකි.

මේ සම්බන්ධයෙන් ආසන්නම අවාසනාවන්ත සිදුවීම වාර්තාවූයේ අම්පාර, තිරුක්කෝවිල් මෙතෝදිස්ත මිෂන් දෙමළ මහ විද්‍යාලයේ නිවාසාන්තර තරඟය අතරතුරයි. ඊයේ (11) උදැසන එම පාසලේ මැරතන් ධාවන තරගය පැවත්වූ අතර තරගය නිමා කිරිමෙන් පසුව සිසුවෙකු හුස්ම ගැනිමේ අපහසුතාවයක් හේතුවෙන් තිරුක්කෝවිල් මුලික රෝහල වෙත ඇතුලත් කර ඇත.
අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සදහා ඔහු අක්කරපත්තු රෝහල වෙත ඇතුලත් කරන ලදුව දහවල් වනවිට සිසුවා අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂ්‍යයට පත්ව තිබෙනවා.
මෙසේ මිය ගොස් ඇත්තේ තිරුක්කෝවිල් දොරේ අප්පා මාවතේ පදිංචිව සිටි ජේ. විදුෂන නැමැති වයස අවුරුදු දහසයක පාසල් සිසුවෙක්.
මෙම සිසුවාගේ මිය යාමත් සමග මෙතෝදිස්ත දෙමළ මහා විද්‍යාලයේ සිසු සිසුවියන්, ප්‍රදේශයේ තරුණ තරුණියන් හා දෙමාපියන් සමග 1000 ක පමණ පිරිසක් පැමිණ රෝහල් කාර්‍යය මණ්ඩලයට විරෝධය පළකරමින් මාර්ගයේ ගමනා ගමනයට බාධාකර මාර්ගය අවහිර කොට උද්ඝෝෂණයක් සිදුකර ඇත.
මෙහිදී විරෝධතාකරුවන් විසින් රෝහල වෙත ගල් වලින් පහර දි ජනෙල් වල වීදුරු හා තිරැක්කෝවිල් මුලික රෝහලේ නාම පුවරැවටද හානි සිදුකර ඇත.
මෙම විරෝධතාව මැඩ පැවැත්විම සදහා තිරැක්කෝවිල්, අක්කරපත්තු, පොතුවිල් යන ස්ථානයන් වල පොලිස් නිලධාරීන් හා සාගම, තම්බැට්ට, ආරුගම්බේ කදවුරුවලින් විශේෂ කාර්ය බළකා නිලධාරින් ගෙන්වන ලදී.

මෙහිදී රෝහල් බළධාරීන් ප්‍රකාශ කර සිටියේ මේ දිනවල පවතින අධික උෂ්ණත්වය නිසා මෙවන් ආකාරයේ ශරීරය වෙහෙසවන ක්‍රීඩා හැකිතාක් අවම කිරීමට කටයුතු කලයුතු බවයි. බොහෝ දරුවන්ට මෙවන් වෙහෙසකාරී ක්‍රීඩාවල නිරතවීමෙන් පසුව විවිධ සංකූලතා මතුවන බවත් එය මෙවැනි අවාසනාවන්ත තත්වයක් දක්වා වැඩිවිය හැකි බවත් ය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *