Post Views: 239 රෝම ලන්දේසී නීති ක්‍රමය මගින් හදුන්වා දුන් පරාටේ නීතිය මුල් කාලයේ බලපැවැත්වූයේ රාජ්‍ය බැංකුවල ට පමණක් වුවද පසුකාලීනව එහි බලය පෞද්ගලික බැංකු හා මූල්‍ය ආයතන සදහා ද ලබාදීම තුලින් ඔවුන් එය අවභාවිතා කරමින් ණයකරුවන්ගේ දේපළ අසාධාරණ ලෙස පවරා ගැනීමට කටයුතු කල බව අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය. මෙහි පවතින අයහපත් තත්වය මත අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව මෙම පරාටේ නීතිය මේ වසරේ දෙසැම්බර් 15 දින දක්වා අත්හිටුවීමට කටයුතු කල බවත් ඉදිරියේදී මේ සම්බන්ධව නීතී සංශෝධනයක් පාර්ලිමේන්තුවට ගෙන ඒමට කටයුතු කරන බවත් අමාත්‍ය රාජපක්ෂ මහතා පැවසීය. අමාත්‍යවරයා මෙම අදහස් පලකලේ, අද (27) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක් වෙමිනි. මෙහිදී වැඩිදුරටත් අදහස් පලකරමින්,මෙරට බැංකු නියාමනය කිරීමේ බලය ඇත්තේ ශ්‍රී ලංකා මහ බැංකුවට වන අතර එමගින් එකී කටයුත්ත නිසි පරිදි සිදුවූවාද යන්න ගැටළුවක්. මහ බැංකුව කටයුතු කර ඇත්තේ බැංකු ස්ථාවරව පවත්වා ගැනීමට විනා රටේ ආර්ථිකය ස්ථාවරව පවත්වා ගැනීමට නොවේ, රාජ්‍ය බැංකු දෙකක් විසින් මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට සහ තවත් පුද්ගලයන්ට ලබාදී ඇති මේ දක්වාත් අයකරගැනීමට නොහැකිව ඇති ණය ප්‍රමාණය රුපියල් බිලියන 602 ක් පමණ වෙනවා. එයින් අති බහුතරයක් ගෙවා ගැනීමට නොහැකිව බොල් ණය ලෙස කපා හැරීමට සිදුව තිබෙනවා. මෙම ණය ප්‍රමාණය අප රටේ කෘෂිකර්මාන්ත සහ කර්මාන්ත යන ක්ෂේත්‍ර සඳහා යෙදවීමට හැකිවූවා නම් එම ක්ෂේත්‍රවල විශාල වර්ධනයක් ලබාගැනීමට හැකිව තිබුණා. රටේ මූල්‍ය පාලනයක් නොතිබූ නිසා එවැනි තත්ත්වයක් උදාවුණා. යනුවෙන් පැවසීය. රටකට මූල්‍ය ප්‍රතිපත්තියක් තිබිය යුතුයි. ඒවගේම ආර්ථිකය ද ශක්තිමත් විය යුතුයි. යනුවෙන්ද පැවසූ අමාත්‍යවරයා, පසුගිය කාලයේ දී 22% ක්ව පැවැති කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රය 8% ක් දක්වා පහත වැටීම, 38% ක්ව පැවති කර්මාන්ත ක්ෂේත්‍රය 32% දක්වා පහත වැටීම කෙරෙහි අවධානය යොමු කළ යුතුයි.17 වතාවක්ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් ණය ගැනීමට අපට සිදුවුණා. එසේ කළත් ආර්ථිකය ගොඩ ගැනීමට නොහැකි වී තිබෙනවා. එහිදී අප විසින් නිරන්තරයෙන්ම සිදුකර ඇත්තේ ආර්ථිකයේ සේවා අංශය පුළුල් කිරීම පමණයි. කර්මාන්ත අංශය නොසලකා හැරීම නිසා නිෂ්පාදන ධාරිතාව අඩු වුණා. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් (Small and Midsize Enterprise) සඳහා වෙනම ණය යෝජනා ක්‍රමයක් හඳුන්වාදීමට අපේක්ෂා කරන බව සදහන් කල අමාත්‍යවරයා, අපට මූල්‍ය සහයෝගය ලබාදෙන ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වැනි ආයතන සමඟ සාකච්ඡා කොට මෙම අඩු පොලී ණය ක්‍රමය හඳුන්වාදීමට අපේක්ෂා කරනවා. බැංකුව හරහාම ණය ලබාදීමේ දී පවතින ගැටලුව වන්නේ, ලැබිය යුතු අයවලුන් සඳහාම ණය ලබාදීම සිදුවනවා ද යන්නයි. ඒ නිසා මෙම ණය පහසුකම ලබාදීම අධීක්ෂණ ක්‍රමයක් යටතේ සිදු කළයුතු බව කැබිනට් මණ්ඩලය සමඟ සාකච්ඡා කිරීමෙන් පසුව අප තීරණය කළා. ඒ සම්බන්ධව ඉදිරියේ දී මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කිරීමට ද අප බලාපොරොත්තු වනවා. යනුවෙන්ද පැවසීය. Post navigation පොලිස්පති ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ කරුණු දක්වයි. ඝාතන කිහිපයක යතුරුපැදිකරු ලෙස ක්‍රියාකල හිටපු සෙබළා STF වෙඩි පහරින් මරුට.