අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතා සිය මන්ත්‍රී ධුරයෙන් ඉවත්ව තිබේ.

උද්දික ප්‍රේමරත්න මහතා විමල් වීරවංශ මහතා නායකත්වය දරන ජාතික නිදහස් පෙරමුණේ සාමාජිකයකු වන අතර 2020 මහ මැතිවරණයේදී අනුරාධපුර දිස්ත්‍රික්කය නියෝජනය කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වුණි. පසුගිය වසරේ සිට ඔහු පාර්ලිමේන්තුවේ ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරන බව ප්‍රකාශ කරන ලදී.

සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වෙමින් ඒ මහතා කතානායකවරයා වෙත මේ පිළිබඳ ලිපියක් යොමු කර ඇති අතර එහි සදහන් කරුණු පහත දැක්වේ.

2020 පාර්ලිමේන්තු මැතිවරණයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වී පැමිණි මා එවකට පැවති පාලනය තුළ රටේ යම් ධනාත්මක වෙනසක් සිදු කරනු ඇතැයි යන අපේක්ෂාව තුළ එම පාලන තන්ත්‍රයට අවශ්‍ය කරන තරුණ නායකත්වය ලබාදීමේ අරමුණින් පාර්ලිමේන්තුවට පැමිණියෙමි. එසේ වුවත් අප සියලු දෙනාගේ අපේක්ෂා භංගත්වයට පත්වන අයුරින් පසුගිය කාලය තුළ සිදුවූ සිදුවීම් ජාලය තුළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස රාජ්‍යය යාන්ත්‍රණය තුළ රැඳී සිටියදීත් සක්‍රීය කාර්යයක නියැළීමේ අවස්ථාවක් කිසිදු විටක තරුණ නායකයෙක් ලෙස නොලදිමි. එසේම පෞද්ගලිකව මම මගේ දේශපාලන සිතුම් පැතුම් මෙම වාතාවරණය තුළ යථාර්ථයක් බවට පරිවර්තනය කර ගැනීමේ ක්‍රියාවලිය ඉතා දුෂ්කර එකක් බව පසක් කරගෙන සිටින්නෙමි. එසේ හෙයින් තාවකාලිකව මෙම යාන්ත්‍රණයෙන් ඉවත්වීමට මම තීරණය කළෙමි. ඉහත කරුණු මත මම මාගේ මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වන බව මෙයින් ප්‍රකාශ කර සිටිමි,
ස්තුතියි,
මෙයට
පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න
(උපුටාගැනීම අවසන්)

මේ අතර, මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න ගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා එස්.සි.මුතුකුමාරණ පත්කිරීමට නියමිත බව වාර්තා වේ.අනුරාධපුර දිස්ත්‍රික්කය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ලැයිස්තුවේ මීළඟට සිටින්නේ එස්.සි.මුතුකුමාරණ ය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *