මල්වානේ පිහිටි හිමිකරුවෙක් නොමැති සුප්‍රකට සුඛෝපභෝගී නිවස සහ අක්කර 15 ක් පමණ ඉඩම පිළිබදව සවිස්තරාත්මක යෝජනාවක් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කොට එය ඵලදායී සංවර්ධන ව්‍යාපෘතියක් සදහා යෙදවීමට කඩිනමින් පියවර ගන්නා බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පවසයි.

අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා මෙම අදහස් පළ කළේ හිමිකරුවෙකු නොමැතිවීම හේතුවෙන් අධිකරණය විසින් අධිකරණ අමාත්‍යාංශය යටතට පත් කරන ලද මල්වාන නිවස සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම සදහා එම නිවස පිහිටි ස්ථානය නිරීක්ෂණය කිරීමට ඊයේ පස්වරුවේ පැමිණී අවස්ථාවේදීය.

එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ අමාත්‍යවරයා මෙසේ ද සදහන් කළේය.
විනාශයට පත්ව තිබෙන මෙම නිවස මේ රටේ ආන්දෝලනාත්මක නඩුවකට අදාල වු විෂය වස්තුවක් බව කිව යුතුයි. 2015 දී පමණ මේ සම්බන්ධයෙන් අධිකරණයේ ඩු පැවරූ අවස්ථාවේ දී මේ ඉඩම සම්බන්ධ ඔප්පුවල නම් සදහන් සියලු දෙනා මේ ඉඩම ඔවුන්ට අයිති නැති බව ප්‍රකාශ කළා. ඒ ප්‍රකාශය කිරීම නිසා අමාත්‍ය මණ්ඩලයට පත්‍රිකාවක් ඉදිරිපත් කරමින් මේ ඉඩම රජයට පවරා ගනු ලැබුවා. අපි ඒ අවස්ථාවේදී මේ නිවස ජාත්‍යන්තර වශයෙන් විනිසුරුවරුන් සදහා පර්යේෂණ හා පුහුණු මධ්‍යස්ථානයක් වශයෙන් භාවිතා කිරීම සදහා යෝජනා කළා. පසුගිය කාලයේ සිදු වු ආණ්ඩු මාරුවත් සමග එය සිදු වුයේ නැහැ. දැන් මේ නඩුවේ කටයුතු අවසන් වෙලා තිබෙනවා. මේ අක්කර 15 ක පමණ ඉඩම අධිකරණ අමාත්‍යාංශය යටතට පවරා ගෙන තිබෙනවා. ඒ නිසා අපි ඉදිරියේදී මේ ගොඩනැගිලි ප්‍රයෝජනයට ගත හැකි පරිදි යථා තත්වයට පත් කරනවා. අවාසනාවකට වගේ පසුගිය අරගලය සමයේ රජය සතුව තිබු ගොඩනැගිලි පවා ගිනි තබා විනාශ කල බව ද අමාත්‍යවරයා පැවසීය.

අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් නිහාල් රණසිංහ මහතා ඇතුළු නිලධාරීන් මෙම නිරීක්ෂණ චාරිකාවට එක්ව සිටින ලදී.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *