ශ්‍රී ලංකාවේ අධිකරණ වල පවතින නඩු ප්‍රමාදය වැලැක්වීමට සහ ජනතාවට වැයවන විශාල වියදම සහ කාලය කැපකර නඩු කටයුතු ඉදිරියට ගෙනයාමේ ක්‍රමය වෙනුවට එම ක්‍රමය සම්පූර්ණයෙන්ම වෙනස් කිරීම සඳහා භාවිතා කරන ලද ක්‍රමවේදයන් අතර ඉතාමත් සාර්ථක ක්‍රමවේදය වන සමථ මණ්ඩල ක්‍රමය ප්‍රචලිත කිරීම තුලින් මේ වන විටත් අධිකරණ වල නඩු ගොඩගැසීම වැලැක්වීමට අවශ්‍ය මූලික පියවර ගෙන තිබෙන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

අමාත්‍යවරයා මෙම අදහස් පලකලේ සමථ මණ්ඩල කොමිෂන් සභාවේ කාර්ය භාරය හා 2024 අංක 02 දරණ සමථ මණ්ඩල ( සංශෝධන ) පනත පිළිබදව පසුගියදා අධීකරණ අමාත්‍යාංශයේදී පැවති මාධ්‍ය දැනුවත් කිරීමේ විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

1988 අංක 72 පනත මඟින් සමථ මණ්ඩල පනත මඟින් සමථ මණ්ඩල කොමිෂන් සභාව පිහිටුවීමෙන් අනතුරුව 2015 පමණ කාලය වන විට ශ්‍රී ලංකාව තුළ පැවති නඩු කටයුතු වලින් සියයට හතලිස් පහක් පමණ ප්‍රමාණයක් විසදීමට හැකිව තිබූ අතර සමථ මණ්ඩල ක්‍රමය තුල කරන ලද විවිධ ප්‍රතිසංස්කරණ හරහා මෙ වන විට නඩු විසදීමේ ප්‍රතිශතය සියයට හැත්තෑවක පමණ ප්‍රමාණයකින් ඉහල ගොස් ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

අධිකරණය පිළිබඳ විශ්වාසය අඩුවීමට එක් හේතුවක් ලෙස අමාත්‍යවරයා පෙන්වා දුන්නේ අධිකරණයන්හි සිදුවන නඩු ප්‍රමාදවීමයි. එම නඩු ප්‍රමාදය වැලැක්වීමේ එක් ක්‍රමවේදයක් ලෙස සමථ මණ්ඩල ක්‍රමය ව්‍යාප්ත කිරීම සාර්ථක බවත් රුපියල් ලක්ෂ පහකට අඩු මූල්‍යමය නඩු කටයුතු විසදීමට සමථ මණ්ඩල වලට ලබාදී තිබූ බලය වර්තමානය වන විට රුපියල් ලක්ෂ දහය දක්වා වැඩි කිරීමට කටයුතු කල අතර ඒ හරහා මූල්‍යම ගැටළු විශාල ප්‍රමානයක් සමථකරණය කිරීමට හැකියාව ලැබී තිබෙන බවත් හෙතෙම පැවසීය.

ඊට අමතරව විශේෂයෙන්ම උතුරු නැගෙනහිර පළාත් වල ඉතා විශාල වශයෙන් ඉඩම් ආරවුල් පවතින බැවින් ඒ සඳහා එම පළාත් දෙක සඳහා වෙනම ඉඩම් සමථ මණ්ඩල ක්‍රමය හදුන්වා දී තිබූ අතර එය ඉතාමත් සාර්ථක ආකාරයෙන් ක්‍රියාත්මක වී එම පළාත් දෙකෙන් පිට තවත් දිස්ත්‍රික්ක 16 ක් සඳහා මෙම ඉඩම් සමථ ක්‍රමය හදුන්වා දීම කල අතර එය ඉතාමත් සාර්ථක ලෙස ක්‍රියාත්මක වන බවත් ඒ තුළින් අධිකරණ වල නඩු විභාගවීමට නියමිතව තිබූ ආරවුල් විශාල ප්‍රමාණයක් සමථයට පත්කර ගැනීමට හැකිවූවා සේම අධිකරණයන්හි ගොඩගැසීමට නියමිතව තිබූ නඩු අවම කර ගැනීමට හැකිවීමත් සමථකරණ ක්‍රියාවලිය තුළින් සිදුවී ඇැති බව අමාත්‍යවරයා විසින් පෙන්වා දෙනු ලැබීය.

වර්තමානය වන විට බන්ධනාගාර තුළ රඳවා තබා ඇති රැඳවියන් සංඛ්‍යාව තිස්දහස ඉක්මවා ඇති බැවින් බන්ධනාගාර වල තදබදයක් ඇතිවී තිබෙන බව සඳහන් කල අමාත්‍යවරයා පැහැදිලි කලේ කුඩා වැරදි වලට පවා බන්ධනාගාර තුල රඳවා තැබීමට අධිකරණයන්හි විනිසුරුවරුන්ට ද සිදුවී ඇති අතර එම ක්‍රමය වෙනස් කරමින් එම සැකකරුවන් ලියවිල්ලක් මඟින් තමන්ගේ ඥාතීන්ට හෝ භාරකරුවකු වෙත වගකීම පවරා නිවාස අඩස්සියේ තැබීමේ ක්‍රමය පිළිබඳව අවධානය යොමු කර ඇති බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දෙනු ලැබීය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *