Post Views: 208 පසුගිය ජනවාරි මස දිනකදී සිවිල් ඇදුමින් සැරසී රාත්‍රී කාලයේදී රථවාහන පරීක්ෂාවක නිරතව සිටි නාරම්මල පොලීසියේ නිලධාරීයෙකු අතින් ලොරි රථ රියදුරෙකු ඝාතනයට ලක්වීම සමාජයේ විශාල ලෙස කථාබහට ලක්විය. මෙම මරණය නිසා සිදුවූ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීම හේතුවෙන් රුපියල් මිලියන 200 ක වන්දියක් ඉල්ලමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කර තිබේ. එම සිදුවීමෙන් මියගිය වඩු කාර්මික ශිල්පී රොෂාන් කුමාරසිරි නමැත්තා වෙනුවෙන් ඔහුගේ බිරිඳ වන කමනි රූපිකා ප්‍රියංගනී මහත්මිය විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇත. අදාල පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නාරම්මල පොලීසියේ උප පොලිස් පරීක්ෂක කේ. ගුණවර්ධන, පොලිස් කොස්තාපල් කේ.එම්. චමුදිත බණ්ඩාර කුළසේකර නාරම්මල පොලීසියේ ස්ථානාධිපතිවරයා, වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් සහ නීතිපතිවරයා නම් කර තිබේ. පෙත්සම්කාරිය සිය පෙත්සම මගින් සදහන් කරනුයේ, තමන් තිදරු මවක් බවත් ඉකුත් ජනවාරි මස තම සැමියා ලොරියකින් ගමන් කරමින් සිටියදී “යුක්තිය” මෙහෙයුමේ නිරතව සිටි නාරම්මල පොලිසියේ උප පොලිස් පරීක්ෂක කේ. ගුණවර්ධන විසින් එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් ඔහු මරණයට පත් වූ බවත් ය.එම මරණය සම්බන්ධව සිදුකෙරුණු පශ්චාත් මරණ පරීක්ෂණයේ දී තම සැමියා වෙඩි පහරකින් මියගිය බව අනාවරණය වූ බවත් එහි සඳහන් වෙයි.කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව පොලීසිය විසින් එල්ලකල වෙඩි පහරින් තම සැමියා මරණයට පත්වීම තුළින් සිය මූලික මිනිස් අයිතීන් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබා දෙන ලෙස පෙත්සම්කාරිය අධිකරණයෙන් ඉල්ලා තිබේ.ඒ වෙනුවෙන් වග උත්තරකරුවන්ගෙන් රුපියල් මිලියන 200 ක වන්දියක් අයකර දෙන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටින පෙත්සම්කාරිය වාහන පරීක්ෂා කිරීමේදී පොලිස් නිලධාරීන් විසින් අනුගමනය කළ යුතු මාර්ගෝපදේශ මාලාවක් සකස් කරන ලෙස නියෝගයක් නිකුත් කරන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ. මෙම සිදුවීම සම්බන්ධයෙන් රටතුල ඉමහත් ආන්දෝලනයක් ඇතිකිරීමට සමත්වූයේ අදාල සිදුවීම සිදුවූ අවස්ථාවේ ඒ අසල සිටි තරුණයන් පිරිසක් විසින් එම සිදුවීමට අදාල ජංගම දුරකථන මගින් පටිගතකල දර්ශන සමාජ මාධ්‍යය වෙත මුදාහැරීම නිසා ජනතාවට සත්‍ය තත්වය හෙළිදරව් වීමයි. මෙම තත්වය සමාජ මාධ්‍යය නිසා ජනතාවගේ පුද්ගල අයිතිවාසිකම් වලට සාධාරණත්වයක් ලබා ගැනීමට ඉඩප්‍රස්ථාවක් ලද අවස්ථාවක් ලෙසත් හැදින්වීමේ හැකියාවක් ඇත. මේ අතර එම ඝාතනයට සම්බන්ධ පොලිස් නිලධාරියා ඊයේ (16) දින නාරම්මල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව 2024 මාර්තු 01 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කරන ලදී. එමෙන්ම, ඝාතනය වූ පුද්ගලයාගේ වඩුමැෂිම හා ආයුධ ඔහුගේ බිරිඳ වෙත ලබාදීමට මහේස්ත්‍රාත්වරයා විසින් පොලීසියට නියෝග කරන ලදී. Post navigation අස්වැසුම දෙවැනි අදියර සඳහා අයදුම්පත් බාර ගැනීම ඇරඹේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් ප්‍රබලයන් දෙදෙනකු සජබයට එක්වෙයි.