ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) 2020 වසරේ සමාගම් වාර්තාකරණයේ විනිවිදභාවය පිළිබඳ ඇගයීම (TRAC) ආරම්භ කළ අතර එතැන් සිට වාර්ෂිකව එය සිදු කරයි. ශ්‍රී ලංකාවේ කොටස් වෙළඳපොළෙහි ලැයිස්තු ගත, ප්‍රමුඛතම පොදු සමාගම් 125 (2023 ජුලි 5 වන දිනට කොළඹ කොටස් වෙළඳපොළ දත්ත මත පදනම්ව) මෙම වසරේ ඇගයීම්කරණයට ඇතුළත් විය.

එම ඇගයීම් අනුව, සමාගම් වාර්තාකරණයේ විනිවිදභාවය සම්බන්ධයෙන් පූර්ණ ලකුණු ලබා ගනිමින් මෙවර සමාගම් පහක් ප්‍රථම ස්ථානය හිමි කර ගෙන ඇත. පෙර වසරේ ප්‍රථම ස්ථානය හිමිකරගත් ජෝන් කීල්ස් හෝල්ඩින්ස් පීඑල්සී සහ ටීජේ ලංකා පීඑල්සී යන සමාගම් මෙවර ද පළමු ස්ථානයේ රැඳී සිටින අතර, ලංකා දුම්කොළ සමාගම, ඩයලොග් ආසියාටා පීඑල්සී සහ දිල්මා සිලෝන් ටී යන සමාගම්ද මෙවර පළමු ස්ථානයට තේරී පත්ව ඇත. මෙම ඇගයීමේ ක්‍රියාවලියට අනුව සමාගම් 27 ක් දෙවැනි කාණ්ඩයට ඇතුළත්ව තිබේ.

අද (15) ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකදී මෙම වාර්තාව එළිදැක්වීම සිදුකල අතර එහිදී මේ සම්බන්ධව කරුණු පහැදිලි කල TISL විධායක අධ්‍යක්ෂිකා නදීෂානි පෙරේරා සදහන් කලේ,
𝐓𝐫𝐚𝐧𝐬𝐩𝐚𝐫𝐞𝐧𝐜𝐲 𝐢𝐧 𝐂𝐨𝐫𝐩𝐨𝐫𝐚𝐭𝐞 𝐑𝐞𝐩𝐨𝐫𝐭𝐢𝐧𝐠 2023 (TRAC) වාර්තාව හරහා ශ්‍රී ලංකාවේ ලැයිස්තුගත සමාගම් දූෂණයට එරෙහිව සටන් කිරීමට ගත් පියවර මෙන්ම දූෂණය වැළැක්වීමට තීරණාත්මක වන ක්ෂේත්‍රයන්ට අදාළ වන තොරතුරු හෙළිදරව් කිරීමේ පිළිවෙත් පිළිබඳව තක්සේරු කර ඇති බවයි. එනම්, දූෂණ විරෝධී වැඩසටහන්, ආයතනික විනිවිදභාවය පවත්වා ගැනීම, දේශීය මූල්‍ය වාර්තාකරණය, ස්ත්‍රී පුරුෂ භාවය සහ වෙනස් කොට සැලකීම් නොකිරීමේ ප්‍රතිපත්ති පිළිබඳ වාර්තා කිරීම, රටින් රටට අදාළ වාර්තා වෙනමම දැක්වීම, රජයේ කොන්ත්‍රාත්/ටෙන්ඩර් සම්බන්ධ ප්‍රසම්පාදනයන් පිළිබඳ වාර්තා කිරීම යනාදී ක්ෂේත්‍ර මෙම ඇගයීමේදී සළකා බලන ලද බවත් මෙහිදී සදහන් කරන ලදී.
එමෙන්ම, සමාගම් වල ප්‍රසිද්ධ කර ඇති තොරතුරු මත පදනම්ව මෙම ඇගයීම සිදු කර ඇති බවත් ඒ අනුව, සමාගම්වල තොරතුරු අනාවරණයේ මට්ටම අනුව 0 සිට 10 දක්වා ලකුණු ලබා දෙමින් (10 ඉහළම ලකුණු සහ 0 අඩුම ලකුණු) සියලු සමාගම් “පූර්ණ විනිවිදභාවයක්, සැලකිය යුතු විනිවිදභාවයක්, මධ්‍යස්ථ විනිවිදභාවයක්, අර්ධ වශයෙන් විනිවිදභාවයක්, අඩු විනිවිදභාවයක් සහ අවම විනිවිදභාවයක්” පෙන්නුම් කරන ලෙස කාණ්ඩ හයකට වෙන්කර කාණ්ඩ ගතකර ඇති බවත් TISL විධායක අධ්‍යක්ෂිකාව පැවසීය.

මෙම “සමාගම් වාර්තාකරණයේ විනිවිදභාවය පිළිබඳ ඇගයීම” ගැන වැඩිදුරටත් කරුණු දැක්වූ නදීෂානි පෙරේරා සදහන් කලේ, TRAC වාර්තාව මගින් සමාගම් සිය ආයතනික තොරතුරු අනාවරණය සම්බන්ධයෙන් පෙන්නුම් කරන විනිවිදභාවය පමණක් ඇගයීමට ලක්කරන අතර, ඒවායේ දූෂණ විරෝධී ප්‍රතිපත්ති හෝ වැඩසටහන් සත්‍ය ලෙස ක්‍රියාත්මක වන්නේදැයි TISL ආයතනය ඇගයීම් කර නැති බවයි. එමනිසා යම් සමාගමක් අඩු ලකුණු ප්‍රමාණයක් ගත් පමණින් එහි දූෂණ විරෝධී වැඩසටහන් නොමැති බවක් හෝ සමාගමේ යම් අක්‍රමිකතාවක් ඇති බවක් පෙන්නුම් නොකරන බවත් යම් සමාගමක් ඉහළ ලකුණු ගත් පමණින් එහි දූෂණ විරෝධී වැඩසටහන් සාර්ථකත්ව ක්‍රියාත්මක වන බවක් පෙන්නුම් නොකරන බවත් ය.
TRAC ඇගයීම වරින් වර සිදු කිරීම මගින් බලාපොරොත්තු වනුයේ, ව්‍යාපාර කටයුතුවල සුපිළිපන්නභාවය සහ විනිවිදභාවය වැඩිදියුණු කර ගැනීමට සමාගම් දිරිමත් කිරීම බව සදහන් කල TISL විධායක අධ්‍යක්ෂිකාව, මෙම ඇගයීමේ වැදගත්ම පරමාර්ථය වන්නේ දූෂණ විරෝධී භාවිතයන් අන්තර්ග්‍රහණය කර ගැනීමටත් එම තොරතුරු ප්‍රසිද්ධියේ ලබා දීමටත් සමාගම් පෙළඹවීම බවත් පැවසීය.

“TRAC ඇගයීම හරහා ශ්‍රී ලංකාවේ සියලුම මහා පරිමාණ දූෂණ සිදුවීම්වලට විසඳුම් නොලැබෙන බව අපි දනිමු. TISL ආයතනය විවිධ ප්‍රවේශයන් ඔස්සේ දූෂණ ප්‍රශ්නය ආමන්ත්‍රණය කිරීමට උත්සාහ කරන්නේ එබැවිනි. පර්යේෂණ හා නඩු කටයුතු, අල්ලස් සහ දූෂණ විරෝධී පුහුණු වැඩසටහන් සහ වෙනත් දැනුම්වත් කිරීමේ වැඩසටහන් ඒ අතර වේ. එසේ වුවද, ආයතනික විනිවිදභාවය පවත්වා ගැනීම දූෂණ අවදානම අවම කිරීම සඳහා සමාගම්වලට ගත හැකි එක් වැදගත් පියවරක් ලෙස අපි දකිමු,” TISL ආයතනයේ විධායක අධ්‍යක්ෂිකා නදීෂානි පෙරේරා පැවසුවාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *