2024 වර්ෂයට අදාළ පාසල් පෙළ පොත් හා නිල ඇඳුම් රෙදි බෙදාදීමේ ජාතික වැඩසටහන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කොල්ලුපිටිය ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයේ දී පැවැත්වුනි.

මෙම පාසල් පෙළපොත් හා නිල ඇඳුම් රෙදි ලබාදීමේ වැඩසටහනට සමගාමීව දිවයිනේ පාසල් 10,126 ක සිසු දරුවන්ට හා පිරිවෙන් 822 ක ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලාට සහ සිල් මාතාවන්ට පෙළපොත් හා නිල ඇඳුම් රෙදි ලබාදීම සිදු කෙරේ.

මෙම අවස්ථාවේදී සංකේතාත්මකව ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා සහ සිසු දරුවන් කිහිප දෙනෙකුට නිල ඇඳුම් රෙදි සහ පාසල් පෙළ පොත් බෙදාදීම සිදුකල ජනාධිපතිවරයා පැමිණි පිරිස අමතමින්, රට ආර්ථික පරිවර්තනයකට යොමු කිරීමට නම් ලොවට ගැළපෙන නව අධ්‍යාපන ක්‍රමවේදයක් අවශ්‍ය බවත්, එමඟින් තරගකාරී ලෝක වෙළෙඳපොළට අවශ්‍ය වෘත්තිකයන් බිහිකළ හැකි බවත් පැවසීය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද පැවසීය,
මගේ නිවස අවට පාසල් පහක් තිබෙනවා. ඒ මම අධ්‍යාපනය ලැබූ පාසල් දෙකක් වන රාජකීය විද්‍යාලය, තර්ස්ටන් විද්‍යාලය වගේම කාන්තා විද්‍යාලය, මහානාම විද්‍යාලය සහ මේ ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලය. එම නිසා අධ්‍යාපන ක්ෂේත්‍රය පිළිබඳ වැඩි අවධානයක් යොමු කිරීමට මට හැකි වී තිබෙනවා. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිතුමාගේ කාලයේත් මෙම පාසලේ සංවර්ධන කටයුතු පිළිබඳ අප අවධානය යොමු කළා.
2022 වසරේදී රට තුළ ඇති වූ දරුණු ආර්ථික අර්බුදය නිසා අධ්‍යාපන ක්ෂේත්‍රය පමණක් නොව සෑම ක්ෂේත්‍රයක්ම කඩා වැටීමකට ලක් වුණා. පාසල් පෙළපොත් හා නිල ඇඳුම් රෙදි ලබා දීමට හැකියාවක් තිබුණේ නැහැ. එම ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීමට කිසිදු නායකයෙක් ඉදිරිපත් වුණේ නෑ. එම අවස්ථාවේදී මම එම අභියෝගය භාරගෙන රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කළා.
එම ආර්ථික වැඩපිළිවෙළ නිසා අද වන විට රට යම්කිසි ආර්ථික ස්ථාවරභාවයකට පත්වෙමින් තිබෙනවා. ඒ අනුව පාසල් නිල ඇඳුම් රෙදි සහ පාසල් පෙළ පොත් නියමිත කාලයට ලබා දීමට රජයට හැකි වුණා. ඒ සඳහා රුපියල් බිලියන 14 කට වඩා වැඩි මුදලක් වැය කළා.

මෙම අවස්ථාවට සහභාගී වූ අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා, “කොවිඩ් වසංගතය හා ආර්ථික අර්බුදය නිසා ප්‍රමාද වී තිබෙන සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ විභාග 2025 වසර වන විට නියමිත දින වකවානුවට පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා”. යැයි පැවසීය.

අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද කුමාර්, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිනි ගුණවර්ධන, බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර්ෆෝස් රොෂාන් ගුණතිලක, අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා, ග්‍රන්ථ ප්‍රකාශන කොමසාරිස් ඉසෙඩ්. තාජුඩීන් යන මහත්වරුන් ද, ශාන්ත අන්තෝනි බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය සහ ගුරුවරුන්, සිසු දරුවන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *