මිනුවන්ගොඩ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගේ නිවසකට ආයුධවලින් සන්නද්ධව කඩා වැදී මුදල් සහ දේපොළ කොල්ලකමින් සිටි කොල්ලකරුවන් තිදෙනකුට අසල්වැසි තරුණයකු විසින් සිදුකළ පහරදීමකින් එක් කොල්ලකරුවකු මියගොස් තවත් අයකු තුවාල ලබා ඇත.

ඊයේ (11) අලුයම 3.00 ට පමණ නිවසේ හිමිකරුවන ව්‍යාපාරිකයා දෛනිකව සිදුකරන එළවළු ව්‍යාපාර කටයුතු සඳහා අලුයම 2.00 ට පමණ නිවසින් පිටව ගොස් ඇත. ඔහු මෙසේ නිවසෙන් බැහැරවන විටදී නිවසේ සිටින්නේ ඔහුගේ බිරිද හා දියණියන් සිව් දෙනා පමණක් නිසා ඔවුන් පිළිබඳව විමසිල්ලෙන් සිටින ලෙස අසල්වැසි තරුණයකුට දන්වා යාම පුරුද්දක් ලෙස සිදු කරයි.

ඊයේ දින ද ඔහු මෙලෙස බැහැර ගිය පසුව ව්‍යාපාරිකයාගේ නිවස දෙසින් බල්ලන් බුරන හඬක් ඇසී අසල්වැසි තරුණයා ඒ පිළිබඳව විමසා ව්‍යාපාරිකයාගේ බිරිඳට දුරකථන ඇමතුමක් ලබාදී ඇත. එහිදී ඇය පවසා ඇත්තේ නිවසට කොල්ලකරුවන් පැමිණ සිටින බවකි.

වහාම ක්‍රියාත්මක වූ තරුණයා කඩුවක් ද රැගෙන ව්‍යාපාරිකයාගේ නිවස වෙත පැමිණි අවස්ථාවේදී පරීක්ෂා කිරීමේදී මුහුණ වසා ගත් කොල්ලකරුවන් තිදෙනකු තියුණු ආයුධවලින් සන්නද්ධව නිවස තුළ සිට ඇති අතර ඔවුන් ව්‍යාපාරිකයාගේ බිරිඳ සහ දියණියන් සිව්දෙනා කාමරයකට කර අගුල් දමා නිවස කොල්ලකමින් සිට ඇත.

ඒ අවස්ථාවේ කොල්ලකරුවන් අසල්වැසි තරුණයාට ආයුධවලින් පහරදීමට උත්සාහ කර ඇති අතර ඔහු ද පෙරළා ඔවුන්ට කඩුවෙන් පහරදී තිබේ. එහිදී තුවාල ලද කොල්ලයට පැමිණි එම ප්‍රදේශයේම පදිංචි 30 හැවිරිදි ශකිල නම් තරුණයෙකු ජීවිතක්ෂ්‍යට පත්ව ඇති අතර කොල්ලකෑමට පැමිණි තවත් දෙදෙනකු පළාගොස් ඇත.

එසේ පලාගිය දෙදෙනාගෙන් එක් අයෙකුද තුවාල ලබා ඇති බවට තොරතුරු වාර්තාවන බවත් ඔවුන් අත් අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය සදහන් කරයි. කෙසේ වෙතත් කොල්ලකරුගේ මරණය සම්බන්ධව අසැල්වැසි තරුණයා පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *