අද (25) අළුයම කටුනායක අධිවේගී මාර්ගයේදී රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ගමන්ගත් ජීප් රථය කන්ටේනර් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් රාජ්‍ය අමාත්‍යවරයා මරුමුවට පත්වී ඇත.

1975 මැයි මස 03 වැනි දා හලාවත දී උපත ලබන කුරුගමගේ සනත් නිශාන්ත පෙරේරා මහතාට වැඩිමහල් සහෝදරියක් සහ සහෝදරයන් තිදෙනෙකු සිටින ලදී. ඔවුන්ගෙන් එක් සහෝදරයෙකු මේ වන විට දී මිය ගොස් ඇත.

හලාවත ශාන්ත මරියා පිරිමි විද්‍යාලයේ ආදි සිසු‍වෙකු වූ සනත් නිශාන්ත මහතා පළමු වරට 1997 වසරේ දී ආරච්චිකට්ටුව ප්‍රා‍දේශීය සභාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් තරග කළත් ජයග්‍රහණය කිරීමට නොහැකි විය.
කෙසේ වෙතත්, එම ප්‍රා‍දේශීය සභා මැතිවරණය ජයග්‍රහණය කර සභාපතිවරයා බවට පත්වූ සරත් හේමචන්ද්‍ර මහතාගේ ඝාතනයෙන් අනතුරුව සනත් නිශාන්ත මහතාට ආරච්චිකට්ටුව ප්‍රාදේශීය සභාවේ සභිකයෙකු ලෙස කටයුතු කරන්නට හැකියාව ලැබිණි.

අනතුරුව, 2004 වසරේ පැවති වයඹ පළාත් සභා මැතිවරණයට ඉදිරිපත් වී ජයග්‍රහණය කරන ඔහු 2009 වසරේ පැවති පළාත් සභා මැතිවරණයෙන් ද ජයග්‍රහණය ලැබු අතර 2010 මැයි මස 31 වැනි දා වයඹ පළාත් සභාවේ ධීවර, මහා මාර්ග, විදුලි බල අමාත්‍යවරයා ලෙස පත් විය.
අනතුරු ව 2013 පැවති වයඹ පළාත් සභා මැතිවරණයේ දී මනාප ඡන්ද 62,996 ක් ලබා පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රථමයා බවට හෙතෙම පත් වී නැවත පෙර අමාත්‍ය ධුරයටම පත් විය. වරක් එම පළාත් සභාවේ වැඩ බලන ප්‍රධාන අමාත්‍ය ධුරය දැරීමට ද ඔහුට හැකි විය.

2015 පැවති පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වී මනාප ඡන්ද 68240 ක් ලබා ගන්නා සනත් නිශාන්ත මහතා පාර්ලිමේන්තුවට තේරී පත් විය. ‍ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව ධීවර රාජ්‍ය අමාත්‍ය ධුරයට පත් වන අතර, අනතුරුව 2020 පැවති පාර්ලිමේන්තු මැතිවරණයේ දී මනාප 80082 ක් ලබා පුත්තලම දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ප්‍රමාණයක් ගත් අපේක්ෂකයා බවට ද පත් විය.

මිය යන විට ඒ මහතා වත්මන් රජයේ ග්‍රාමීය ජල සම්පාදන රාජ්‍ය ඇමතිවරයා ලෙස කටයුතු කරමින් සිටියේ ය.
ඊයේ (24) රාත්‍රියේ හලාවත – බණ්ඩාරවත්ත ප්‍රදේශයේ හෝටලයක පැවති විවාහ මංගල සාදයකට සහභාගි වී ආපසු කොළඹ බලා යමින් සිටින අතරතුර අද (25) අළුයම කටුනායක – ‍කොළඹ අධිවේගී මාර්ගයේ දී සනත් නිශාන්ත මහතා ගමන් කරමින් තිබූ සුඛෝපභෝගී ජීප් රථය ඉදිරියෙන් ගමන් කරමින් තිබූ කන්ටේනර් රථයක පසුපස ගැටීමෙන් අනතුර සිදු වී තිබිණි.

නීතිඥ චමරි පෙරේරා සමඟ විවාහ වී සිටින සනත් නිශාන්ත මහතා දියණියන් තිදෙනෙකුගේ සහ එක් පුතෙකුගේ පියෙකි.

මෙම අනතුරින් රාජ්‍ය අමාත්‍යවරයා සමග ගමන්ගත් ආරක්ෂක නිළධාරියාද මරුමුවට පත්වී රථයේ රියදුරා බරපතල තුවාල ලබා ඇත.

By admin

3 thoughts on “අධිවේගී මාර්ගයේ සිදුවු අනතුරකින් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත ජීවිතක්ෂයට.(ඡායාරූප සහිතයි)”
  1. පුත්තලමට වැඩක් කරපු මනුස්සයෙක්
    නිවන් සුව ලැබේවා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *