රජය මගින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යෝජිත “මාර්ගගත ආරක්ෂණ පණත් කෙටුම්පත” මේ වන විටදී සමාජයේ දැඩි කතාබහකට ලක්වන මාතෘකාවක් බවට පත්ව ඇති අතරම ඒ සදහා සමාජයේ ප්‍රබල විරෝධයක්ද එල්ල වෙමින් පවතී.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන බොහෝ පාර්ශව සදහන් කරනුයේ රජය මේ හරහා පුද්ගලයින්ගේ නිදහස් මත ප්‍රකාශකිරීමට ඇති අයිතිය උල්ලංඝනය කිරීමට කටයුතු කරන බවයි. මේ සම්බන්ධයෙන් මෙරට ප්‍රමුඛතම ජනමාධ්‍යවේදී ආයතනයක් වන ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය සිය ස්ථාවරය නිවේදනයක් මගින් ප්‍රකාශ කර ඇත.

“යෝජිත මාර්ගගත ආරක්ෂණ කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය සහ ලංකා පුවත්පත් ආයතනයේ ස්ථාවරය”

යෝජිත මාර්ගගත ආරක්ෂණ පනත් කෙටුම්පත විසින් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට කරනු ලබන බලපෑම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය සහ ඊට අනුබද්ධ සංවිධාන සිය කනස්සල්ල පළ කර සිටි.

මෙම පනතේ මූලික පරමාර්ථය වන අන්තර්ජාල අතරමැදියන් නියාමනය කිරීමේ අවශ්‍යතාව පිළිගන්නා ශ්‍රී ලංකා පුවත්පත් ආයතනය ශ්‍රී ලංකාවේ මාධ්‍යවේදීන්ට සහ බහුතර ප්‍රජාවට අහිතකර වන මතභේදයට තුඩු දෙන පනතෙහි ඇතුළත් කරුණු කිහිපයක් හඳුනාගෙන තිබේ.

මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් 2023 නොවැම්බර් මාසයේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නිර්ණායකයන්ට අනුව එහි අන්තර්ගත වගන්ති 56න් 31ක් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලධර්මවලට සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව සංශෝධනය කළ යුතු වේ. මෙය පාර්ලිමේන්තු කාරක සභා අවස්ථාවේ දී සිදු කළ යුතු බවට එමඟින් යෝජනා කර ඇත.මෙම කෙටුම්පතේ ඇතුළත් යෝජිත කොමිෂන් සභාවේ බලතල වලට අදාළව වැරදි පිළිබඳව නිර්වචනය කිරීමට ඊට තිබෙන අයිතිය සහ කොමිසමේ ස්වාධිපත්‍ය මගින් අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට එල්ල කරනු ලබන බලපෑම පිළිබඳ සැලකිල්ල යොමු කර ඇති ශ්‍රේෂ්ඨාධිකරණය එහි කාර්යයන් සහ රාමුව වෙනස් කළ යුතු යැයි අපේක්ෂා කර තිබේ.

මෙම පනත් කෙටුම්පතේ අන්තර්ගත වන නියාමනයන් පිළිබඳව තිබෙන නොපැහැදිලි අර්ථ දැක්වීම සහ වැරදි නිර්වචනය කිරීමට තිබෙන අත්තනෝමතික බලය මෙන්ම ආත්මීය අර්ථකථනයන්ට තිබෙන ඉඩකඩ විසින් බරපතළ අවධානමක් ඇති කරන බව අපගේ ස්ථාවරයයි. මෙමගින් නීත්‍යානුකූල ප්‍රකාශනයන් සම්බන්ධයෙන් ද අසාධාරණයක් විය හැකි බව පෙනී යන බැවින් ඒ සම්බන්ධයෙන් අප කනස්සල්ල පළ කර සිටිමු. මෙම හේතූන් මත මාධ්‍යයට සහ සියලු පාර්ශවකරුවන්ට විවෘතව අදහස් ප්‍රකාශ කිරීමට බාධා ඇති කරන අන්දමේ පරිසරයක් නිර්මාණය වන අතර නිදහස් භාෂණයේ මූලධර්මවලට ඉඩ ඇහිරීමක් සිදුවන බැවින් ස්වයං වාරණයකට සියලු දෙනා යොමු වීමට වඩා වැඩි ඉඩ කඩක් නිර්මාණය වන බව අපගේ නිරීක්ෂණයයි.

මෙකී කොමිසමේ අපක්ෂපාතීත්වයට බාධා පමුණුවන දේශපාලන හෝ වෙනත් බලපෑම් වලක්වා එහි ස්වාධීනත්වය තහවුරු කිරීමේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ‍ මඟ පෙන්වීම ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ ද පිළි ගැනීමයි.කොමිෂන් සභාවේ කාර්යභාරයන් අධිකරණයේ අධීක්ෂණ යටතට ගෙන ඒම අප පිළිගන්නා අතරම කොමිෂන් සභාවට අර්ධ අධිකරණ බලතල ලබා දීම නොකළ යුතු බව අපගේ ස්ථාවරය වේ.

මෙකී පනත් කෙටුම්පත මගින් අපේක්ෂිත අරමුණ සහ එහි අන්තර්ගතය අතර සමතුලිතභාවයක් තිබිය යුතු බව අපගේ මතය වන අතර සාවද්‍ය තොරතුරු සහ වෛරී ප්‍රකාශන පිටුදැකීම කළ යුතු නමුත් එමඟින් ප්‍රකාශනයේ නිදහසට බාධාවක් සිදු නොවිය යුතුය.

අන්තර්ජාල අතරමැදියන් සහ එම අන්තර්ගතය බෙදා ගැනීමේ වේදිකාවන් නියාමනය කිරීමේ අවශ්‍යතාව පිළිගන්නා අතරම කොමිසමට තිබෙන්නා වූ අසීමිත බලය සහ ඉහත අරමුණු අතර කිසියම් සමතුලිත භාවයක් ඇති කරගත යුතු බව ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ අදහස වේ. මාධ්‍යවේදීන්ගේ මෙන්ම ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස ආරක්ෂා කිරීමට සහ ප්‍රජාතන්ත්‍රවාදී පාරදෘෂ්ඨ භාවය රැකෙන වග වීම සහිත සමාජයක් ගොඩනැගීමට කිසියම් තුලනයක් අවශ්‍ය බව අපගේ පිළිගැනීම වේ.
(නිවේදනය අවසන්)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *