ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ දෙදෙනෙකුට පහර දුන්නේයැයි චෝදනාවකට එම රෝහලේ පිලිකා රෝග විශේෂඥ වෛද්‍ය ක්‍රිශාන්ත පෙරේරා මහතා පොලිස් අත් අඩංගුවට ගත් අතර එම සිදුවීමෙන් කලකිරීමට පත් වූ විශේෂඥ වෛද්‍යවරයා ඇතිවූ සත්‍ය තත්වය හෙළිකරමින් සිය සේවයෙන් ඉල්ලා අස්වීමට ලිපි ඉදිරිපත් කර ඇත.

මෙම සිදුවීමට මූලිකව හේතුවී ඇත්තේ සෞඛ්‍ය වෘත්තිය සමිති 72 ක් පසුගිය 16 වනදා ක්‍රියාත්මක කළ සංකේත වැඩවර්ජනය ළමා, පිළිකා ඇතුළු විශේෂිත රෝහල්වල සිදුනොකරන බව සඳහන් කළද කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා අංශයේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලය ඊට එක්ව තිබීමයි.
එම වර්ජනය නිසා, විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා විසින් එදින සිදුකළ ශල්‍යකර්මයකට මෙන්ම පිලිකා ඒකකයේ කටයුතුවලට බාධා එල්ලවීම සම්බන්ධයෙන් වෛද්‍යවරයා විසින් රෝහල් පාලනාධිකාරියට ලිඛිතව පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර ඒ සම්බන්ධයෙන් රෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ යම් පිරිස් වෙතින් වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතා හට තර්ජන එල්ලවී ඇත.

වර්ජනයෙන් පසු දින විශේෂඥ වෛද්‍යවරයා සහ එදින සේවයට වාර්තා කර තිබූ කනිෂ්ඨ කාර්ය මණ්ඩලය අතර උණුසුම් තත්ත්වයක් ඇතිවි ඇති අතර මෙහිදී වෛද්‍යවරයා තමන්ට පහරදුන් බවට සුළු සේවකයන් දෙදෙනකු පොලිසිය වෙත පැමිණිලි කර තිබිණි. මෙම සිද්ධියෙන් අනතුරුව රෝහල් කනිෂ්ඨ කාර්ය මණ්ඩලය වෛද්‍යවරයා අත් අඩංගුවට ගන්නා ලෙස බලකරමින් වර්ජනයක් නිරත විය. පසුව පොලීසිය විසින් විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා අත්අඩංගුවට ගෙන මහේස්ත්‍රාත් වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 22 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.

මෙම සිදුවීම සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය කරාපිටිය ශාඛාව විසින් ද නිවේදනයක් නිකුත් කරන ලද අතර එහි සදහන් වන්නේ,

විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා විසින් පසුගිය 16වන දා සිදුකළ ශල්‍යකර්මයකට එම දිනයේ පැවති සෞඛ්‍ය සේවක වර්ජනයෙන් බාධා එල්ල වී තිබු බවත්, මේ සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා අදාළ අංශ දැනුවත් කර තිබු බවත් ය.
ඊට එරෙහිව සෞඛ්‍ය සේවකයින් පිරිසක් වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරාට පසුගිය 17වන දා තර්ජනය කර ඇති අතර එම කණ්ඩායම විසින් අඛණ්ඩව ඔහුට එරෙහිව ජීවිත තර්ජන පවා එල්ල කළ බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සිය නිවේදනයේ දක්වන අතර මේ පිළිබදව අපක්ෂපාතී විමර්ශනයක් සිදුකරන ලෙස අදාළ අංශවලින් ඉල්ලීමක් කරන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.

මේ අතර රිමාන්ඩ් භාරයේ පසුවන කරාපිටිය ශික්ෂණ රෝහලේ පිළිකා විශේෂඥ වෛද්‍යවරයාට අසාධාරණයක් සිදුව ඇති බව පවසන්, ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන්, හෙද හෙදියන්, රෝගීන් සහ ප්‍රදේශවාසින් අද (19) එම රෝහල ඉදිරිපිට විරෝධතාවයක නිරත විය.
ඔවුන් පවසන්නේ වෛද්‍යවරයාට පහරදුන් රෝහලේ කනිෂ්ඨ කාර්යය මණ්ඩලය සම්බන්ධයෙන් ද නීතිය ක්‍රියාත්මක විය යුතු බවයි.

මේ සියළු තත්වයන් මතයි වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතා සිය විශ්‍රාම යාමේ ලිපි ඉදිරිපත් කර ඇත්තේ ඒ මගින් ඔහු ඉල්ලා ඇත්තේ ලබන ජුනි මස 20 දින සිට තමන් විශ්‍රාම ගන්නා බවත් ඒ අනුව විශ්‍රාම පූර්ව නිවාඩු අනුමත කර දෙන ලෙසත් ය.

මෙරට විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිගයක් පවතිද්දීත් 61 විය සපුරා සිටි මෙම විශේෂඥ වෛද්‍යවරයා ගේ සේවය දේශපාලන පත්වීම් ලබා රජයේ සේවයට එක්වූ නොහික්මුනු සේවකයන් කිහිපදෙනෙකු නිසා රටේ අහිංසක රෝගී ජනතාවට අහිමි කිරීම සම්බන්ධයෙන් ජනතාව විසින් අදාල පුද්ගලයින්ගෙන් ප්‍රශ්ණ කලයුතු ය. එමෙන්ම නීතිය සැමට සාධාරණව ඉටුවිය යුතුය.

(වෛද්‍ය ක්‍රිෂාන්ත පෙරේරා මහතා විශ්‍රාම ගැනීමට ඉල්ලූ ලිපිය.)

අධ්‍යක්ෂක
ශික්ෂණ රෝහල
කරාපිටිය ගාල්ල

ගරු අධ්‍යක්ෂකතුමනි,

විශ්‍රාම වයස පසුකර සේවයෙන් විශ්‍රාම යාමට කරනු ලැබූ ඉල්ලීම…

ජ්‍යෙෂ්ඨ පිළිකා ශල්‍ය වෛද්‍ය එස්.සී.ආර් පෙරේරාවන මම 20/06/ 2024 දින සිට විශ්‍රාම යාමට අදහස් කර සිටිමි..
මේ කරුණ පිළිබඳව 02/01/ 2024 දිනැති මගේ ලිපිය ඔබගේ කාරුණික අවධානය යොමු කරමි.
18/09/ 1985 දින සිට නොකඩවා නොකිලිටි සේවයක් ඔබ අමාත්‍යංශයට ලබාදුනිමි.
නමුත් පසුගිය දින සිදු වූ ඉතා අවාසනාවන්ත සහ සංවිධානාත්මක ක්‍රියා නිසා මෙම තීරණය ගත් බව කණගාටුවෙන් වුවත් මෙසේ ලියා තබමි..
කරාපිටිය රෝහලේ කනිෂ්ඨ කාර්ය මණ්ඩලයේ ඉතා පහත් නොපනත් ක්‍රියා 16/01/2024 දින සේවයේ වර්ජනයක් තිබියදී , පිළිකා රෝහල එම වෘත්තීය ක්‍රියාමාර්ගයෙන් ඉවත්කර තිබියදී ම සේවයට වාර්තා නොකිරීම.
17/01/2024 රෝහල් අධ්‍යක්ෂකගේ කැඳවීමට ඔහුගේ කාර්යාලයට උදේ 8.30 ට පමණ ගොස් පැමිණීමේදී ඔවුන්ගේ අපහාස මධ්‍යයේ බැණ වැදීම් පහර කෑමේ සහ මරණ තර්ජනයට තුන්සියයක පමණ පිරිසකගෙන් සිදුවීම.
මෙම සිද්ධිය පිළිබඳව අධ්‍යක්ෂක සහ රෝහල් පරිපාලනය දක්වන ලද අකාර්යක්ෂම සහ පිළිකුල් සහගත ක්‍රියාවන්
ගාල්ල මූලස්ථාන පොලිසියේ සමහර නිලධාරීන්ගේ නීති විරෝධී ක්‍රියාවන් හේතු වූ බව කියමි.

ගරු අධ්‍යක්ෂකතුමනි,
පුරා වසර තිස් හතරක් නොකඩවා නොකිලිටි සේවයක් ශ්‍රී ලාංකික ජනතාව වෙත උපරිම උත්සාහයක් දරා ලබා දුන් මා වැනි ජ්‍යෙෂ්ඨ විශේෂඥ වෛද්‍යවරයෙකුට කනිෂ්ඨ කාර්ය මණ්ඩලය ඔබතුමා ඇතුළු පරිපාලනය සහ ගාල්ල පොලිසියෙන් 17/01/2024 රාත්‍රියේ පැමිණි සහ ඉන් පසු ඔවුන්ගේ උන හිරිහැර ඉතාමත් කණගාටුදායකය..
එබැවින් විශ්‍රාම වයස සපුරා සිටින වෛද්‍ය එස්.සී.ආර්. පෙරේරා වන මා හට 20/06/ 2024 දින සිට සේවයෙන් විශ්‍රාම යාමට සඳහා පරිපාලන කටයුතු ආරම්භ කරන ලෙස ඉල්ලා සිටිමි.
මෙම තීරණය ඉතා ගැඹුරින් සිතා බලා ගන්නා ලද තීරණයක් බව ද සඳහන් කරනු කැමැත්තෙමි.
ඔබට සහ සියලු රෝහල් කාර්ය මණ්ඩලය ලබා දුන් හායට ස්තුතිය පුද කරන ලද අතර ඔබ සැමට සුභ අනාගතයක් ප්‍රාර්ථනා කරමි..

මෙයට විශ්වාසී
එස්.සී.ආර්. පෙරේරා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *