ඍණ අගයක තිබූ ආර්ථිකය ධන අගයකට රැගෙන එමින් මෙරට උද්ධමනය තනි ඉලක්කමේ පවත්වාගෙන යාමට හැකි වී තිබීම තුල ව්‍යාපාරික ප්‍රජාවේ විශ්වාසය ගොඩ නැගීමට ප්‍රධාන හේතුවක් වූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසයි.

2023 වර්ෂයේ දී දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව රාජ්‍ය ආදායම 11.2% ක්ව පවතින බවත් එය 2026 වසරේ දී 15% ක් දක්වා වර්ධනය කිරීම අපේක්ෂාව බවත් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කලේය.

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ ‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ (01) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා මෙසේද පැවසීය.

මෙරට ආර්ථික වර්ධනය 2023 වසරේ තුන් වැනි කාර්තුවේදී 1.7% ක් වනවා. ඒ අනුව 2023 වසරේ සමස්ත ආර්ථික වර්ධනය -3% ක් පමණ වනු ඇතියි. නමුත් 2022 වසරේ දී සමස්ත ආර්ථික වර්ධනය පැවතියේ -11% ක් ලෙස බව ද පැවසිය යුතුයි. එමෙන්ම ප්‍රාථමික ගිණුමේ ශේෂය තව දුරටත් ධන අගයක පවතිනවා. එහෙත් එය 2022 වසරේ දී පැවතියේ රුපියල් බිලියන 895 ක ඍණ අගයකයි. එය 2023 නොවැම්බර් මස වන විට රුපියල් බිලියන 333 ක ධන අගයක් වනවා.
ඒ වගේම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවැනි වාරිකය ලැබීමෙන් අනතුරුව මෙරට විදෙස් සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන 4 ඉක්ම වනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ඇමරිකානු ඩොලර් මිලියන 337ක්, ආසියානු සංවර්ධන බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 220ක් සහ ලෝක බැංකුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 250ක් ලෙස එය සටහන් වනවා.
එමෙන්ම උද්ධමනය තනි ඉලක්කමේ පවත්වාගෙන යාමට අපට හැකි වී තිබෙනවා. 2022 වසරේ උද්ධමනය 70%ක මට්ටමේ පැවතුණා. එය 2024 වසරේ 5% මට්ටමේ පවත්වාගෙන යාමට අපේක්ෂිතයි. එය මෙරට ව්‍යාපාරික ප්‍රජාවේ විශ්වාසය ගොඩ නැගීමට ප්‍රධාන හේතුවක් වෙනවා.
ඒ වගේම රාජ්‍ය ආදායම 2023 වසරේ දී රුපියල් බිලියන 3110ක් වනවා. ඒ අනුව 2023 වසරේ සංශෝධිත ඇස්තමේන්තුව බිලියන 2850ක් වනවා. මේ අනුව 2023 වසරේ රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව 11.2%ක් වනවා. 2026 වසරේ දී එය 15% වර්ධනයක් දක්වා රැගෙන යාම අපගේ අපේක්ෂාවයි.
මෙරට බදු ගොනු සංඛ්‍යාවේ වර්ධනයක් සිදුව තිබෙනවා. 2019 වසරේ සමස්ත ලියාපදිංචි බදු ගෙවන්නන්ගේ සංඛ්‍යාව 1,705,233ක් වනවා. විවිධ ප්‍රතිපත්තිමය තීන්දු නිසා එය 2020 වසරේ දී 677,613 දක්වා අඩු වුණා. 2021 වසරේ දී 507,085ක් වුණා. 2022 වසරේ දී 437,547ක් වූ බදු ගොනු සංඛ්‍යාව අද වන විට මිලියනය දක්වා ඉහළ නංවා ගැනීමට අප සමත් වී තිබෙනවා.
වත්මන් රජය බලයට පත් වන විට අතැතිව තිබූ රුපියල් බිලියන 350 ක වටිනාකම ඉක්ම වූ නොගෙවූ බිල්පත් ප්‍රමාණයක් පැවතුණා. ඒ සියල්ල මේ වන විට ගෙවා අවසන් කර තිබෙනවා. 2023 වසරේ දෙසැම්බර් 15 වන විට සියලු අනුමත ව්‍යාපෘති සඳහා වන බිල්පත් ගෙවා අවසන් කිරීමට ද අප සමත් වුණා. 2024 වසරේ සිට මසකට වඩා වැඩි කාලයක් ගෙවීම් ප්‍රමාද නොකර සිටීමට රජය ප්‍රතිපත්තිමය එකඟතාවකින් කටයුතු කරමින් සිටිනවා.

එමෙන්ම 2024 වසර සඳහා අස්වැසුම අයදුම්පත් කැඳවිම ජනවාරි මස අග හෝ පෙබරවාරි මස මුල ආරම්භ කරනවා.
1,410,064 ක අස්වැසුම දෙසැම්බර් මස වාරික මුදලත් ගෙවා අවසන් කිරීමට අපට හැකිවුණා. අපගේ ඉලක්කය ලක්ෂ 20 ක් සඳහා මෙම ප්‍රතිලාභ ලබා දීමටයි. 2023 වසරේ පැවැති යම් යම් අඩුපාඩුකම් මගහරවා ගනිමින් ප්‍රතිලාභ හිමි විය යුතු ම කණ්ඩායම සොයා ඔවුන්ට ප්‍රතිලාභ ලබා දීමට රජය කටයුතු කරනවා. යනුවෙන්ද අමාත්‍යවරයා පැවසීය.

Join SMN24Media WhatsApp group
https://chat.whatsapp.com/I3bIbUXEdpG8wz2ub8Tk6o

Leave a Reply

Your email address will not be published. Required fields are marked *