නීතිය නිසිලෙස ක්‍රියාත්මක වීමට නම් නීතීරීතී කාලානූරූපීව යාවත්කාලීන කලයුතු බවත් අධිකරණ අමාත්‍යාංශය මගින් මේ වනවිට නීතී අණපනත් 45 කට වැඩි සංඛ්‍යාවක් සංශෝධනයට ලක්කර නීතියේ ආධිපත්‍ය ශක්තිමත් කර ඇති බවත් අධිකරණ,බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා පවසයි.

අධිකරණ අමාත්‍යාංශය විසින් පසුගිය මාස 18 ක කාලය තුළ සම්මත කරන ලද නව නීති, අණ පනත් සම්බන්ධයෙන් දැනුවත් කිරීම සදහා, අද (28) දින රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා මෙම අදහස් පල කරන ලදී.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය රාජපක්ෂ මහතා,
රටක් දියුණු වනවා නම් එම රටේ නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කිරීම වඩා වැදගත් බව සඳහන් කල අතර ආර්ථික වශයෙන් රට ප්‍රකෘතිමත් වන්නට පටන් ගත්තා සේම නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීම සඳහා තමන් අධිකරණ අමාත්‍යාංශය භාරගත් දින සිට මේ දක්වා විවිධ නීති අණපනත් 45 කට වැඩි සංඛ්‍යාවක් සංශෝධනය කරමින් නව නීති සකස් කිරීමට කටයුතු කල ආකාරය පෙන්වාදුනි.
එමෙන්ම, 2024 වසරේ ජනවාරි මස තවත් වැදගත් පනත් අටක් සම්මත කිරීමට සූදානම් බවත් ඉදිරියේදී අවශ්‍යතාවයන් අනුව නව අණපනත් සංශෝධනය කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා විසින් සදහන් කලේය.

අල්ලස දූෂණය නැති කිරීම සඳහා දූෂණ විරෝධී පනත වැනි පනත් සම්මත කරගැනීම තුලින් නාස්තිය හා දූෂණය අවම කරමින් රටේ දියුණුව සඳහා අවශ්‍ය කරන ක්‍රියාමාර්ග වඩා යහපත් ආකාරයට ක්‍රියාත්මක කිරීම සඳහා මේ වන විට සම්මත කර ඇති පනත් ප්‍රමාණවත් බවත් අදාල පනත් හරහා නීතිය නිසියාකාරව ක්‍රියාත්මක කිරීම තුළින් වඩා යහපත් තත්වයකට රට පත් කිරීම අපහසු නොවන බවද මෙහිදී අමාත්‍යවරයා සඳහන් කලේය.

මෙම අවස්ථාවට සහභාගී වෙමින් රස පරීක්ෂක වාර්තා ප්‍රමාදවීම සම්බන්ධයෙන් සහ පොලීසිය විසින් අත් අඩංගුවට ගනු ලබන මත්කුඩු වෙනත් පිටි, පවුඩර් බවට පත්වීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියකු විසින් අසන ලද පැනයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කලේ පසුගිය කොඩිඩ් වසංගතය හේතුවෙන් සහ පැවති ආර්ථික අර්බුදය හේතුවෙන් රස පරීක්ෂක වාර්තා ලබාගැනීමට අවශ්‍ය රසායනික ද්‍රව්‍ය ගෙන්වීමට තිබූ අපහසුතාවයන් නිසා ප්‍රමාද වී ඇති රසපරීක්ෂක වාර්තා මාස හයක් තුළ කඩිනමින් ලබාදීමට අවශ්‍ය ක්‍රමවේදයන් සකස් කර ඇති බවයි. එමෙන්ම, පොලිස් ස්ථාන වල සිට රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත නඩු භාණ්ඩ එවීමේදී දැනට පවතින ක්‍රමවේදයට වඩා විධිමත් ආරක්ෂිත ක්‍රමවේදයක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට කටයුතු කිරීමට පියවර ගන්නා බවත් අමාත්‍යවරයා පැවසීය.

පසුගිය කාලසීමාව තුල මෙරට ආර්ථීක වශයෙන් මෙන්ම සියළු අංශ වලින් රට අරාජිකත්වයට පත්වූ අවස්ථාවේ රට භාර ගැනීමට කිසිවෙකුත් ඉදිරිපත් නොවූ අවස්ථාවක තමන් ඇතුළු සුළු පිරිසක් ඉදිරිපත් වී කුඩා කැබිනට් මණ්ඩලයක් පිහිටුවාගෙන රට අරාජිකත්වයෙන් ගලවා ගැනීමේ අභියෝගය භාරගත් බවත් එසේ රට භාරගෙන කටයුතු කිරීම තුළින් යම් සුභදායී තත්වයට රට පත්කරගැනීමට හැකිවූ බව ද සඳහන් කල අමාත්‍යවරයා පැහැදිලි කලේ හිස්ව තිබූ මහා භාණ්ඩාගාරයේ සංචිත ඉහල නංවාගැනීම කඩිනමින් කලයුතුව තිබූ අතර මේ මොහොත වන විට ඩොලර් සංචිය අපේෂිත මට්ටමට ගෙන ඒමට හැකිවීම විශාල ජයග්‍රහණයක් බවත් සඳහන් කලේය.

මෙම අවස්ථාවට ගරු අමාත්‍යතුමාගේ මාධ්‍ය උපදේශක ආචාර්ය හර්ෂ බී අබේකොන් මහතා ඇතුළු මාධ්‍යවේදීන් පිරිසක් එක්විය.

Join SMN24Media WhatsApp group
https://chat.whatsapp.com/I3bIbUXEdpG8wz2ub8Tk6o

Leave a Reply

Your email address will not be published. Required fields are marked *