‘යුක්තිය’ නමින් දිවයින පුරා ක්‍රියාත්මක කර තිබෙන විශේෂ මෙහෙයුම සම්බන්ධව මේ වන විට සමස්ත රටේම කතාබහට ලක්ව තිබෙනවා. මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම් මේ රටේ දිගින් දිගටම පැවතුණා. එම නිසා මෙම ක්‍රියාකාරකම් කවුරුන් හෝ නතර කළ යුතුයි. ඒ නිසා මෙරටින් මත්ද්‍රව්‍ය ජාවාරම සහ පාතාල ක්‍රියාකාරකම් නතර කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට මම තීරණය කළා. ඒ අරමුණින් තමයි ‘යුක්තිය’ මෙහෙයුම ආරම්භ කළේ. මේ සදහා ජනාධිපතිවරයාගේ පූර්ණ ආශිර්වාදය ලැබී ඇති නිසා කුමන බලපෑමක් පැමිණියත් එම මෙහෙයුම් කිසිසේත්ම නතර නොකරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවසීය.

අද (21) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් මෙම අදහස් පලකල අමාත්‍යවරයා, මේ දක්වා ගෙවුනු දින 4 ක කාල සීමාව තුල මෙම මෙහෙයුම මගින් ලද ප්‍රගතිය ද පැහැදිලි කරන ලදී.

ඒ අනුව, මෙම මෙහෙයුමේදී සැකකරුවන් 8451 ක් අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ අතරින් 346 ක් සඳහා රැඳවුම් නියෝගය ද, වත්කම් විමර්ශන කටයුතු වෙනුවෙන් 61 ක් ද, 697 ක් පුනරුත්ථාපනය සඳහා ද යොමු කර තිබෙන බව පැවසීය.

එමෙන්ම, මෙම වැටලීම්වලින් රුපියල් මිලියන 431 ක වටිනාකමකින් යුත් ගංජා, හෂීස්, හෙරොයින්, අයිස්, ගංජා ඇතුළු මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත් වී ඇති අතර සැකකරුවන්ට අයත් වාහන, නිවාස, දේපළ ඇතුළු වත්කම් බැරකම් වශයෙන් රුපියල් මිලියන 162 ක් පමණ වටිනාකමක් සහිත වත්කම් ද පොලිස් භාරයට ගෙන තිබෙන බවත් පැවසීය.

තිස් වසරක යුද්ධය නිමා කිරීමට ජනතාව ලබා දුන් සහාය සේම මේ මොහොතේදි රටටම පිළිලයක්ව පවතින මත්ද්‍රව්‍ය සහ පාතාල ක්‍රියාකාරකම් මර්දනය කිරීම සඳහා ද මාධ්‍යයේ මෙන්ම ජනතාවගේ සහාය අවශ්‍ය බවත් අමාත්‍යවරයා පෙන්වා දුන් අතර මෙම මෙහෙයුමට අවශ්‍ය සහාය සහ නිවැරදි තොරතුරු ලබා දෙන ලෙසත් ඉල්ලා සිටින ලදී.


https://youtu.be/epcM6UMAmq4

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *