මධ්‍යම පළාතේ ජනතාවට පවතින ලේඛන සම්බන්ධ නීතිමය ගැටළු නිරාකරණය සහ අවශ්‍ය වෙනත් නීති සහන ලබාදීමේ වැඩ සටහනේ නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන ජංගම සේවයට සමගාමීව ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සදහා වු කාර්යාලය, අධිකරණ අමාත්‍යාංශයේ ජාතික ඒකාබද්ධතා අංශය හා ටී. ෆිල්ඩ් වයිල්ඩ් ෆන්ඩ් ආයතනය විසින් නුවරඑළිය දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිත ළමුන් හා තරුණ තරුණියන් අතර සංහිදියාව වැඩි දියුණු කිරීමේ අරමුණින් විශේෂ වැඩ සටහනක් අද (16) නානුඔය ඩේස්ෆොඩ් වත්ත වතු යායේදී පැවැත්වුනි.

අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ, ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුනු මෙම වැඩසටහනේදී, වතු ආශ්‍රිත ලමුන්, තරුණ තරුණියන් පොදුවේ මුහුණ දෙන ගැටළු ඔවුන් විසින් අධිකරණ අමාත්‍ය ඇතුළු නිලධාරීන් වෙත ඉදිරිපත් කළ අතර, ඒ සදහා අධිකරණ අමාත්‍යාංශයේ හා අදාළ බලධාරීන්ගේ අවධානය යොමු කර විසදුම් ලබාදීමට පියවර ගන්නා බව අධිකරණ අමාත්‍යවරයා සදහන් කළේය.

වතු ආශ්‍රිත තරුණ තරුණියන්ට පවතින රැකියා ගැටළු, වතු ආශ්‍රිත මාර්ග පද්ධතිය අබලන්ව පැවතීම, අධ්‍යාපන කටයුතු සිදු කිරීමේ ගැටළු, වතු නිවාස ආශ්‍රිත ප්‍රශ්න, වතු නිවාස ආශ්‍රිතව පවතින සනීපාරක්ෂක ගැටළු, භාෂාමය වශයෙන් පවතින ප්‍රශ්න හා පාසැල් යාම අතරමග නතර කරන ළමුන් මුහුණ පාන ගැටළු ආදිය පිළිබදව එම තරුණ තරුණියන් කරුණු ඉදිරිපත් කරන ලදී.

මෙහිදී අදහස් පළ කළ අධිකරණ ඇමතිවරයා,
“රජයක් ලෙස රටේ ඒ ඒ ප්‍රදේශවලට ආවේණික ගැටළු පිළිබදව අවධානය යොමු කර තිබෙනවා. ඇතැම් ප්‍රදේශවල තරුණ තරුණියන් විෂ මත් ද්‍රව්‍ය සදහා ඇබ්බැහි වෙලා. ඒ හේතුවෙන් ඔවුන්ගේ පවුල් සංස්ථාව විනාශ වෙලා. ඇතැම් නගරවල තරුණ තරුණියන් දුරාචාරයන්ට යොමු වෙලා. ආර්ථික ප්‍රශ්න, විරැකියාව හේතුවෙන් ගැටළු ඇතිව තිබෙනවා. එවැනි සමාජ වටපිටාවක් සහිත පරිසරයක මෙම ප්‍රදේශයේ තරුණ තරුණියන් සමස්ත සමාජයම යහපත් මාර්ගයට ගැනීම සදහා ගෙන යන වැඩ පිළිවෙළ අගය කළ යුතුයි. අපේ රටේ දරුවන්ට දක්ෂතා පවතිනවා. ඒ දක්ෂතා ඉස්මතු කිරීමේ ක්‍රමවේදයක් ස්ථාපිත වෙලා නැහැ. සියලුම තරුණ ළමුන්ට තමන්ගේ භාෂාවට අමතරව ඉංග්‍රිසි භාෂාව පිළිබදව දැනුම අවශ්‍යයි. ඉංග්‍රිසි භාෂාව නොමැතිව සමාජයේ ඉදිරියට යාමේ හැකියාවක් නැහැ. තමන්ගේ දරුවන්ට නිසි අධ්‍යාපනයක් ලබා දිය යුතු බවට අවබෝධයක් බොහොමයක් දෙමාපියන්ට නැහැ.
වත්මන් රජය පවතින අධ්‍යාපන ක්‍රමය වෙනස් කිරීම සදහා රජයට යෝජනා කර තිබෙනවා. ඒ අනුව ලබන වසරේ සිට ළමුන්ගේ සහජ දක්ෂතා ඔප් නැංවෙන පරිදි පවතින අධ්‍යාපන ක්‍රමය වෙනස් කිරීමට යෝජනා කර තිබෙනවා. උසස් පෙළ විභාගය සදහා පෙනී සිටින අපේ රටේ දරුවන්ගෙන් විශ්ව විද්‍යාල වරම් හිමි වන්නේ සීමිත සංඛ්‍යාවකට පමණයි. විශාල පිරිසකට විශ්ව විද්‍යාල වරම් අහිමි වෙනවා. අපි ඒ දරුවන්ගේ අනාගතය පිළිබදව අවධානය යොමු කළ යුතුයි. ඒ අනුව ඔවුන්ටත් උසස් අධ්‍යාපන වරම් ලබා ගත හැකි වටපිටාවක් සකස් කළ යුතුයි. දක්ෂතාවයට අවස්ථාව හිමි වන පරිදි වැඩ පිළිවෙළක් නව අධ්‍යාපන ක්‍රමය තුළින් ඇති කිරීමට යෝජනා කර තිබෙනවා. දේශපාලඥයන්ගේ ලියුම් වලින් රැකියා ලබා දෙන ක්‍රමය අවසන් කර දක්ෂතාවයට අනුව අවස්ථාව හිමි වන ක්‍රමවේදයක් සකස් කිරීමට රජය කටයුතු කරනවා”. යනුවෙන් පැවසීය.

අධිකරණ හා බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය නීතිඥ, අනුරාධ ජයරත්න, අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආර්.පී.එස්.සමන් කුමාරී, ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සදහා වු කාර්යාලයේ සභාපති චරිත් මාරඹේ, ඩේස්ෆොඩ් වත්ත වතු අධිකාරී වෙනුර පැල්පොල,ටී ෆීල්ඩ් ආයතනයේ විධායක අධ්‍යක්ෂක නිශාන්ත හෙට්ටිආරච්චි යන මහත්ම මහත්මීන් ජාතික සමගිය හා ප්‍රතිසන්ධානය සදහා වන කාර්යාලයේ නිලධාරීන්, වතු ආශ්‍රිතව ජීවත් වන තරුණ තරුණියන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

ඔබ තවමත් අපගේ අනිකුත් සමාජ මාධ්‍යජාල සමග එක්ව නොමැතිද ?
මෙන්න අපගේ සමාජ මාධ්‍යජාල සබැදි….
https://www.smn24.lk
https://smn24news.blogspot.com
https://www.youtube.com/@smn24
https://facebook.com/smn24news
https://twitter.com/smn24lk
https://chat.whatsapp.com/I3bIbUXEdpG8wz2ub8Tk6o

Leave a Reply

Your email address will not be published. Required fields are marked *