මේ දිනවල මෙරට බිත්තර හා කුකුළු මස් වෙළදුන් විසින් කිසිදු සාධාරණ හේතුවකින් තොරව බිත්තර වල සහ කුකුළු මස් වල මිළ ගණන් ඉහල නංවා ඇත. අද (13) දින මෙරට ප්‍රදේශ කිහිපයකම සාමාන්‍ය වෙළද පල තුල බිත්තර අලෙවි කරන ලද්දේ රුපියල් 60 ත් 65 ත් අතර මිළ ගණන් වලටය. එමෙන්ම සම රහිත කුකුළු මස් කිලෝ එකක සිල්ලර මිළ රුපියල් 1200 ක් ලෙසත් සම සහිත කුකුළු මස් කිලෝ එකක සිල්ලර මිළ රුපියල් 1100 ත් ලෙසටත් අලෙවි කරනු දක්නට ලැබුණි.

මෙම මිළ ගණන් දකින විටදී මෙරට ආණ්ඩුවක් හෝ පාරිභෝගික අධිකාරියක් එසේත් නොමැතිනම් රටේ පරිපාලන කටයුතු සිදුකරන මැති ඇමතිවරු හෝ වෙනත් කිසිවෙකුත් නොමැතිද යන සිතුවිල්ල රටේ ජනතාවට ඇති නොවුනහොත් පුදුමයකි. මන්ද යත් මිළ ඉහල නැංවීමට අදාල වන ආකාරයේ කිසිදු බාහිර සාධකයක් නොමැතිවම වසර අවසානයේ පවතින උත්සව වාතාවරණය නිසා අසීමිත ලාභයක් ලැබීමේ අරමුණින් කල මෙම මිළ ඉහල නැංවීම පාලනය කිරීමට අවශ්‍ය මැදිහත්වීම රජය විසින් නොකර හැරීම එයට හේතුවයි.

පසුගිය කාලයේ රජය මස් හා බිත්තර නිෂ්පාදකයින්ගේ ගැටළු ගැන අවධානය යොමුකර ඔවුන්ගේ නිෂ්පාදන වියදම අවම කරගැනීම සදහා යම් සාධනීය පියවර කිහිපයක් ගනු ලැබූ අතර එයට අමතරව වෙළදපල ඒකාධිකාරය තුල අසීමිත මිළ ඉහල නැංවීම පාලනය කිරීමට සතොස හරහා බිත්තර ආනයනය කිරීමටත් ඒවා රුපියල් 35 ක් වැනි මිළකට පාරිභෝගිකයන්හට ලබාදීමට පියවර ගත්තද එම වැඩ පිලිවෙල කඩාකප්පල් කිරීමටත් ආරම්භයේ සිටම මෙම බිත්තර වෙළද මාෆියාව විවිධ ක්‍රියාමාර්ග ගන්නා ලදී. ඔවුන් පළමුව කලේ විවිධ රාජ්‍ය නිළධාරීන් මුදලට ගෙන මේ සදහා අනුමැතිය ලබා නොදීමට තැත් කිරීමයි. එය ව්‍යාර්ත වූ පසුබිමක සමාජ මාධ්‍ය හරහා ජනතාව තුල බිල්ලෙක් මැවීමට කටයුතු කරන ලදී. මෙරට ජනතාවගේ සාක්ෂරතාවයට පින්සිදු වන්නට එම සැලසුම නම් සාර්ථක විය. බොහෝ ජනතාව අනියත බියක් ඇතිකරගෙන සතොස මගින් රුපියල් 35 ට ලබාදෙන ඉන්දීය බිත්තර නොගෙන විවෘත වෙළදපොලේ ඇති මෙරට බිත්තර වැඩි මිලට ගැනීමට පෙළඹුනි. නමුත් යම් සුළු බලපෑමක් බිත්තර මාෆියාවට ඇතිකිරීමට හැකියාව ලැබීම මත පසුගිය කාලයේ මෙරට බිත්තර මිල සැලකියයුතු ලෙස පහත බැස තිබුනි. ඒ හරහා යම් පාලනයක් පැවතියත් මේ වන විටදී කිසිදු පාලනයකින් තොරව වෙළද සල් වල කුකුල් මස් හා බිත්තර හිතු හිතූ මිළ ගණන් වලට අලෙවි කරමින් පවතී.

මෙම බොහෝ වෙළදසල්හිමියන් එසේ අධික මිළ ගණන් වලට බිත්තර හා කුකුල් මස් අලෙවි කරන ගමන් ජනතාවට සිය ව්‍යාජ අවංකත්වය පෙන්වීම සදහා රජයට දෝෂාරෝපණය කිරීමද කරනු ලබයි. ඔවුන් එසේ කරනුයේ මෙම මිළ වැඩිවීම රජයේ ක්‍රියාකලාපයන් නිසා සිදුවූවක් ලෙස ජනතාවට හැගවීමටයි.

මේ සම්බන්ධයෙන් අප සමග අදහස් දැක්වූ හෝමාගම පදිංචි ජයන්ත රණසිංහ මහතා සදහන් කලේ, ” දැන් මේ රට පාලනය කරන්නේ මහාපරිමාණ වෙළෙන්දො කිහිප දෙනෙක් රජය ඉන්නෙ නමට පමණයි. අපි කඩේට ඇවිත් අද අරන් යන බඩුව හෙට ඇවිත් ගන්න බැලුවම තියන්නෙ වෙන මිලක් හැමදාම කීයක් හරි මිල වැඩිවෙනවා මිසක් කිසිම දෙයක මිල අඩුවීමක් නැහැ. වෙලෙන්දන්ට හිතුන හිතුන ගණන් කියනවා කිසිම දෙයක පාලනයක් නැහැ” යනුවෙනි.

කෙසේ වෙතත් දෙසැම්බර් මස  දී යලිත් අනපේක්ෂිත ලෙස මෙම වෙළද මාෆියාව බිත්තර මිල ඉතා දරුණු ලෙස ඉහල නැංවීමේ ප්‍රථිපලයක් ලෙස මේ වන විටදී මෙරට බිත්තරයක මිල මේ වනවිටදී රුපියල් 60 ත් 65 ත් අතර මිලක පවතී.   

මෙය රජයේ බදු වැඩිකිරීමක් හෝ නිෂ්පාදන වියදම් ඉහල යාමක් නිසා සිදු වූවක් නොවන අතර ඇත්ත වශයෙන්ම සිදුව ඇත්තේ උත්සව සමයේ පවතින අධික ඉල්ලුම නිසා අවස්ථාවාදී ව්‍යාපාරිකයන් විසින් සිය අසීමාන්තික ලාභය සදහා මෙසේ මිළ ගණන් ඉහල නංවා තිබීම බව වෙළද පල තුල කල විමර්ශණයේදී පැහැදිලි විය. මේ තත්වය පාලනය කිරීමට රජය වහාම මැදිහත් නොවුන හොත් එහි අයහපත් ප්‍රථිපල භුක්තිවිදීමට සිදුවන්නේද රජයටම බව මැති ඇමැතීන් සිහි තබාගතහොත් යෙහෙකි. 

(සටහන – කමල් සිරිවර්ධන) 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *