ඉහළ කාර්යසාධනයක් පෙන්නුම් කළ රාජ්‍ය ආයතන 65 ක් සඳහා සම්මාන ප්‍රදානය කිරීමේ උත්සවයක් අද (18) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුනි.

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ වාර්තාවලට අනුව 2019 සහ 2020 වර්ෂවල ඉහළ කාර්යසාධන මට්ටමක් ළඟාකරගත් ආයතන සඳහා රන් සහ රිදී සම්මාන පිරිනැමීම මෙහිදී සිදු කෙරුනි.
රාජ්‍ය, පළාත් සභා සහ පළාත් පාලන ආයතනවල පොදු ගිණුම් තැබීමේ ක්‍රම, මූල්‍ය පාලනය සහ කාර්ය සාධනය පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති හා කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් සකස්කර, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක කරනු ලබන පරිගණක ජාලගත ක්‍රමය මගින් වාර්ෂිකව ඇගයෙන අතර ඒ අනුව විගණකාධිපතිවරයා විසින් විශ්ලේෂණය හා විමර්ශනය කොට, සිදු කළ ඇගයීම අනුව ඉහළ කාර්ය සාධනයක් පෙන්නුම් කළ රාජ්‍ය ආයතන මෙලෙස සම්මානයට පාත්‍ර විය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් එම සම්මාන ප්‍රදානය පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වුනු අතර, රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව ගෙන යන වැඩපිළිවෙළ මෙරට රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට හේතු වී ඇති බවත් ඒ වෙනුවෙන් කැපවී කටයුතු කරන එහි සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ඇතුළු සියලුදෙනාට තම කෘතඥතාව පිරිනමන බවත් ජනාධිපතිවරයා මෙහිදී පැවසීය.

කෘෂිකර්ම නවීකරණ වැඩසටහන මේ වන විටත් ක්‍රියාවට නංවා ඇති අතර කෘෂිකර්මාන්තයට ආදළ ආයතනවලින් කොටසක් පළාත් සභා යටතේ සහ තවත් කොටසක් මධ්‍යම රජය යටතේ ක්‍රියාත්මක වීම එහි දියුණුවට බාධාවක් වී ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා කෘෂි නවීකරණ වැඩසටහනේදී ඒ පිළිබඳවද ප්‍රමුඛ අවධානයක් යොමු විය යුතු බව සඳහන් කළේය.

මෙහිදී, රාජ්‍ය ආයතන 833 ක් ඇගයීමට ලක් වූ අතර 2019 වර්ෂයේදී ඉන් තෝරාගත් ආයතන 15 ක් වෙත රන් සම්මාන සහ ආයතන 30 ක් වෙත රිදී සම්මානද, 2020 වර්ෂයේදී තෝරාගත් ආයතන 15 ක් වෙත රන් සම්මාන සහ ආයතන 30 ක් වෙත රිදී සම්මාන වශයෙන් සමස්ත සම්මාන 90 ක් පිරිනැමීම සිදු විය.
රජයේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, රජයේ විශේෂිත වියදම් ඒකක, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, පළාත් සභා අරමුදල්, පළාත් අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, විශේෂිත වියදම් ඒකක, පළාත් සභා ව්‍යවස්ථාපිත ආයතන, මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා යන අංශ යටතේ මෙම සම්මාන පිරිනැමිණි.
මෙම සම්මාන ප්‍රදානෝත්සවය සඳහා Zoom තාක්ෂණය ඔස්සේ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු, පළාත් සභා යටතේ පවතින ආයතන සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ඇතුළු රාජ්‍ය ආයතන 1000කට අධික ප්‍රමාණයක් සම්බන්ධ විය.

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කථානායක මහින්ද යාපා අබේවර්ධන, නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිර්වර්ධන, විගණකාධිපති ඩබ්ලිව්. පී. සී. වික්‍රමරත්න, පාර්ලිමේන්තුවේ මහලේකම් කුෂානි අනූෂා රෝහණදීර, පාර්ලිමේන්තුවේ තොරතුරු පද්ධති හා කළමනාකරණ අධ්‍යක්ෂ මහේෂ් පෙරේරා යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *