හිටපු පොලිස්පති චන්දන වික්‍රමරත්න ගේ දෙවන සේවා දිගුව ජුනි 25 වැනිදා අවසන් විය. එදින සිට මෙතෙක් නව පොලිස්පතිවරයෙකු පත්කිරීම මෙතෙක් සිදුකොට නැත. දින 10ක සිට පොලිස්පති පුටුව හිස්ව පවතින තත්වයක් තුල ජ්‍යෙෂ්ඨත්වය අනුව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන නිලන්ත ජයවර්ධන, ලලිත් පතිනායක සහ දේශබන්දු තෙන්නකෝන් ගේ නම් පුරප්පාඩු වී ඇති පොලිස්පති ධුරය සඳහා ව්‍යවස්ථාදායක සභාව වෙත ඉදිරිපත් කර ඇති බවත් වාර්තා වේ.

පොලිස්පති ධුරය සඳහා යෝජනා වූ ඉහත නම් අතරින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් පසුගිය කාලය පුරා ඉදිරියෙන්ම සිටියෙකි.

කවුද මේ දේශබන්දු තෙන්නකොන් ?
1971 මාර්තු මස 07 දින උපන් වංශාලංකාර දේශබන්දු තෙන්නකෝන් කොළඹ විශ්ව විද්‍යාලයෙන් සිය උපාධිය හදාරා 1998 පෙබරවාරි මස 23 දින ආධුනික සහකාර පොලිස් අධිකාරිවරයෙකු ලෙස ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට එක්ව ඇත. 2006 වර්ෂයේදී පොලිස් අධිකාරී තනතුරට උසස් වීම් ලද ඔහු 2006 – 2009 කාලසීමාව තුළ නුගේගොඩ පොලිස් කොට්ඨාසය භාර පොලිස් අධිකාරිවරයා වශයෙන් කටයුතු කරනු ලැබීය.

2011 වර්ෂයේදී ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තනතුරට උසස් වීම් ලද ඔහු 2012 – 2015 කාලසීමාව තුල මාතර පොලිස් කොට්ඨාසය භාර නිලධාරියා වශයෙන් කටයුතු කල අතර 2015 වර්ෂයේදී ඔහු නියෝජ්‍ය පොලිස්පති ධුරයට උසස් වීම් ලබන්නේය. ඉන් අනතුරුව, වන්නි දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වශයෙන් ද, පසුව බස්නාහිර පළාත උතුර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති මෙන්ම අපරාධ, අපරාධ බුද්ධි සහ ප්‍රජා පොලිස් දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස ද කටයුතු කළේය.

2019 වර්ෂයේ නොවැම්බර් මස 29 වෙනිදා දින වැඩ බලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරට පත්වූ ඔහු 2020 වසරේ ජනවාරි මස 01 වෙනිදා එම තනතුරේ ස්ථිර පත්විම් ලබුවේය. 2019 වසරේ දෙසැම්බර් මස 05 වෙනිදා සිට මේ දක්වා බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වශයෙන් දේශබන්දු තෙන්නකෝන් මහතා කටයුතු කරනු ලබයි.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *