Post Views: 210 ආසියානු රටවල් අතර අතීතයේ පටන්ම පැවතියාවූ රාජ්‍යත්‍රාන්තික සුහදත්වය පළකිරීමේ එක් ක්‍රමයකි අලි ඇතුන් ත්‍යාග වශයෙන් ලබාදීම. මේ අනුව, තායිලන්ත රජය විසින් 2001 වසරේදී සක් සුරින් (Sak Surin) නම් ඇත් පැටවා තවත් අලි පැටවුන් දෙදෙනකු සමග ශ්‍රි ලංකාවට තිළිණයක් ලෙස ලබා දෙන ලදි.එවකට මෙරට ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය වෙත තායිලන්තය විසින් රාජ්‍යතාන්ත්‍රික ත්‍යාගයක් ලෙස වයස අවුරුදු හය හතක කුඩා ඇත් පැටවකු ලෙස මෙරට රැගෙන එන සක්සූරීන් මෙරට දී දේශීය ඌරුවකින් යුත් ‘මුතුරාජා’ නමින් නම් කල අතර චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ උපදෙස් අනුව මුතුරාජාගේ භාරකාරත්වය හිමිවන්නේ මෙරට ප්‍රසිද්ධ බෞද්ධ විහාරස්ථානයක් වන අලුත්ගම කන්දෙ විහාරය විහාරස්ථානයට ය. එතැන් සිට එම විහාරස්ථානයේ බාරකාරීත්වය යටතේ හැදී වැඩුනු මුතුරාජා එකල රැකබලා ගනු ලබන්නේ ‘විපුල’ නම් වූ පළපුරුදු ඇත්ගොව්වකු විසින්ය. විපුල විසින් ආදරයෙන් රැකබලා ගත් මුතුරාජා කෙමෙන් කෙමෙන් හැදී වැඩී උස්මහත්ව තේජවන්ත බවින් අන් ඇතුන් පරදා යන පෙනුමකින් යුක්ත වූ අතර මෙරට ජීවත් වන දිගම දළ යුගළය සහිත ඇතා බවට ද පත්විය. තවමත් අවුරුදු 30 ක පමණ වයසකින් යුක්ත නිසාවෙන් නුදුරු දිනකදී ආසියාවේ දිගම දළ සහිත ඇතා බවට පත්වීමේ දුර්ලභ වාසනා ගුණය ද සහිත ව සිටි මුතුරාජාගේ දිවියට කණකොකා හඩන්නට පටන්ගෙන ඇත්තේ මීට වසර දෙක තුනකට පෙර සිටය. ඒ බව හෙලිවන්නේ එක් පෙරහර මංගල්‍යයකදී මුතුරාජාගේ ගමන් විලාශයේ යම් වෙනසක් නිරීක්ෂණය වූ සත්වවේදීන් පිරිසක් මේ සම්බන්ධව කල සොයාබැලීමකදීය. ඒ අනුව හෙළිව ඇත්තේ ඒ වනවිටදී මෙම ඇතා ගේ ඇත්ගොව්වා ලෙස කටයුතු කරනුයේ වසර ගණනාවක් ඇතාව ආදරයෙන් රැකබලාගත් විපුල නොවන බවත් ඇත්ගොව්වෙකු ලෙස වෘත්තීය පළපුරුද්ද එතරම් නොමැති ආධුනිකයෙකු විසින් බවත් ය. එම පුද්ගලයා එයට පෙර අලි ඇතුන් ප්‍රවාහනය කල ලොරී රථ රියදුරෙකු ලෙස සිට මෙම කටයුත්තට පැමිණ ඇති බවත් වැඩිදුරටත් කල සොයාබැලීම් වලදී හෙලීවී ඇත. මේ පුද්ගලයාගේ ආධුනික බව නිසාම ඇතා පාලනය කර ගැනීම හා පුරුදු පුහුණු කර ගැනීම සදහා යොදාගත් ක්‍රමවේද නිසාවෙන් ඇතා දීර්ඝ කාලයක සිට විවිධ තුවාල හා අසනීප තත්වයන් වලින් පෙළෙමින් සිට ඇති බවත් හෙළිකරගත් පරිසරවේදීන් පිරිසක් මේ බව වනජීවී දෙපාර්තමේන්තුව, සත්ත්වොද්‍යාන දෙපාර්තමේන්තුව ඇතුළු අදාළ බලධාරීන් දැනුවත් කරනු ලබයි. නමුත් අවාසනාවකට එහිදී වනජීවී දෙපාර්තමේන්තුව සඳහන් කර සිටින්නේ මුතුරාජා වෙනත් රටකින් මෙරටට ලැබුනු ඇතෙකු නිසා ඒ පිළිබඳ වගකීම වනජීවී දෙපාර්තමේන්තුවට භාරගත නොහැකි බවය. සත්ත්වොද්‍යාන දෙපාර්තමේන්තුව ද සඳහන් කර ඇත්තේ එම දෙපාර්තමේන්තුවට අයත් සත්ත්ව නාමාවලියට මුතුරාජා අයත් නොවන නිසා මුතුරාජාට ප්‍රතිකාර කිරීමේ නීතිමය බලයක් එම දෙපාර්තමේන්තුවට නොමැති බවක් ය. මෙරට ආයතන වලින් මුතුරාජා ට පිහිටක නොලැබෙන බව පෙනීගිය විටදී රෙයාර් නැමති රාජ්‍ය නොවන සංවිධානය විසින් මේ සම්බන්ධව ශ්‍රි ලංකාවේ තායිලන්ත තානාපති කාර්යාලය වෙත පැමිණිලි කර ඇත. එහි ප්‍රථිපලයක් ලෙස පසුගිය වසරේ ශ්‍රි ලංකාවේ තායිලන්ත තානාපති කාර්යාලයේ නිළධාරීන් පිරිසක් හා තායිලන්ත පශුවෛද්‍යවරුන් පිරිසක් මුතුරාජා පරීක්‍ෂා කර බලන අතර එහිදී නිරීක්ෂනය වන්නේ ඇතාගේ ශරිර සෞඛය තත්ත්වය යහපත් මට්ටමක නොමැති බව සහ අවම පහසුකම් මත සිටින බවයි. ඒ අනුව ඔවුන් තායිලන්ත රජයට නිර්දේශ කර ඇත්තේ මුතුරාජාව නැවත ආපසු තායිලන්තයට රැගෙන ආ යුතු බවය. මේ සදහා අවශ්‍ය කටයුතු ඉටු කිරීමට තායිලන්ත රජය මැදිහත්වන්නේ ඒ අනුවය. එහි මූලික පියවර ලෙස මුතුරාජාව අළුත්ගම කන්දෙ විහාරයේ සිට ප්‍රතිකාර සදහා දෙහිවල සත්වෝද්‍යානයට රැගෙන එන ලදි. ඒ සමගම ඇතාව රැකබලා ගැනීම සදහා තායිලන්ත ඇත්ගොව්වකුද මෙරටට එවන ලදි.සාමාන්‍යයෙන් අලි පැටවෙකු මෙන් නොව වයස අවුරුදු 30 ක පමණ වන හොදින් වැඩුනු ඇතෙකු ගුවනින් රැගන යාම යන භාරදූර කාර්යයකි. මේ නිසා තායිලන්ත රජය, තායිලන්ත ජාතික සත්වෝද්‍යාන දෙපාර්තුමෙන්තුව හා එරට විදේශ කටයුතු අමාත්‍යාංශය ඒකාබද්ධව මේ සදහා සැලසුම් සකස් කරන ලදී. ඔවුන් පළමුව කලේ මේ සදහා රුසියාවේ නිෂ්පාදිත ඉලුෂියන් – 76 වර්ගයේ, ඇංජින් 04 කින් බල ගැන්වෙන විශාලතම භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් වෙන් කරවා ගැනීමයි. අනතුරුව ඇතාව ආරක්ෂිතව රැගෙන යාම සදහා විශේෂිතවූ කූඩුවක් මෙරට ප්‍රධාන පෙලේ ට්‍රේලර් රථ නිශ්පාදන ආයතනයක් වන ටන්ට්‍රී (Tantri Trailers (Pvt) Ltd) සමාගම වෙතින් නිපදවා ගැනීමයි. ඉන් නොනැවතුන තායි රජයේ බලධාරීන් එම කූඩුව තුල ඇතාට සුවපහසුව ගමන් කල හැකි ආකාරයට අවශ්‍ය වෙනස්කම් සිදු කල අතර පෙර පුහුණුවීම් මෙන්ම දෙහිවල සිට ගුවන් තොටුපල දක්වා ගමන් ගන්නා මාර්ගයේ මෙය රැගෙන යනවිට ඇතිවිය හැකි තත්වය බැලීම පිණිස ඇතාගේ බරට සමාන බරක් සහිතව කූඩුව රැගෙන ගොස් පරීක්ෂා කිරීමද සිදු කර ඇත. මෙරට මුදලින් රුපියල් කෝටි 25 ක පමණ මුදලක් මෙම සමස්ථ ක්‍රියාදාමය සදහා වැයකිරීමට තායිලන්ත රජය කටයුතු කරන අතර ඔවුන් එපමණ වෙහෙසක් ගනු ලබත්දීත් මෙරට බළධාරීන් අදගොළු බිහිරන් සේ කටයුතු කිරීම නිසා තායිලන්තයේ මාධ්‍යය වලද මෙම සිදුවීම අප රටට අපකීර්තියක් ගෙනදෙන ආකාරයට වාර්තා විය. කෙසේ හෝ අද අළුයම 7.30 ට පමණ රුසියානු එවියාකොන් සිටොට්‍රාන්ස් ගුවන් සේවයේ ( Aviacon Zitotrans ) ඒ.එසෙඩ්.එස්.- 5701 ( AZS – 5701 ) දරන ගුවන් යානයෙන් මෙරටින් පිටත් වූ මුතුරාජා නොහොත් සක් සුරින් පස්වරු 2 ට පමණ ඉතාම ආරක්ෂාකාරීව තායිලන්තයේ chiang mai ගුවන්තොටුපල වෙත ලගාවිය. අනතුරුව එරට බළධාරීන් විසින් ඉතාම සැලකිල්ලෙන් ඇතාව Chiang Mai ගුවන් තොටුපලේ සිට ලැම්පැන්ග් (Lampang) ප්‍රාන්තයේ හන්ග් චැට් (Hang Chat) හී පිහිටි අලි රෝහල වෙත රැගෙන යනු ලැබීය. පොතේ නීතීයට පමණක් සීමාවූ මෙරට බළධාරීන්ගේ ක්‍රියාකලාපය නිසා ජාත්‍යන්තර වශයෙන් ඉතාමත් අපකීර්තියක් රටට ඇතිවුවද ඒ සදහා වගකිවයුතු පාර්ශව වලට කිසිදු ගැටළුවක් ඇති නොවන බව නම් සක් සුදක් සේ පැහැදිලිය. (සටහන – කමල් සිරිවර්ධන) Post navigation “රනිල් උත්තරය ද ප්රශ්නය ද ” උත්තර ලංකා සභාගයේ සම්මන්ත්රණ මාලාවේ සිව්වැන්න හංවැල්ලේදී. ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීම සඳහා ලොව පුරා ආයෝජකයින් සූදානමින් – අමාත්‍ය අලී සබ්