Post Views: 268 ශ්‍රී ලංකාව තුළ අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික කරමින් ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය, ගබඩා කිරීම, බෙදා හැරීම සහ විකිණීම සඳහා ශ්‍රී ලංකා රජය සහ ආර්.එම්. පාර්ක්ස් සමාගම (RM Parks Inc) අතර දිගුකාලීන ගිවිසුමකට අත්සන් තැබීම අද (08) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය. විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ ලේකම් එම්.යූ.ඩී.පී.කේ. මාපා පතිරණ සහ ආර්.එම් පාර්ක්ස් සමාගමේ උප සභාපති ජස්ටියන් ඩිවිස් (Justion Divis) යන මහත්වරු ජනාධිපතිවරයා ඉදිරියේ ගිවිසුමට අත්සන් තැබූහ. බලපත්‍රය නිකුත් කිරීමෙන් පසු ආර්.එම්. පාර්ක්ස් සමාගම, ෂෙල් සමාගම සමඟ එක්ව දින 45ක් ඇතුළත ශ්‍රී ලංකාව තුළ සිය මෙහෙයුම් ආරම්භ කිරීමට මේ යටතේ සැලසුම් කර තිබේ. පාරිභෝගිකයින්ට අඛණ්ඩ ඉන්ධන සැපයුමක් සහතික කිරීම සඳහා මෙම උපාය මාර්ග සැලසුම් දියත් කර ඇති අතර, එහි පළමු අදියර ලෙස කැබිනට් මණ්ඩල අනුමැතිය ඇතිව, මෙරට තුළ ක්‍රියාත්මක බෙදාහැරීමේ අලෙවි නියෝජිත ජාලය තුළ ඛනිජ තෙල් නිෂ්පාදන ආනයනය, ගබඩා කිරීම, බෙදා හැරීම සහ විකිණීම සඳහා ඛනිජ තෙල් නිෂ්පාදනය කරන රටවල සමාගම්වලට ආයෝජනය සඳහා ආරාධනා කරන ලදී. එහිදී වෙළඳපොළට ඇතුළු වන නව සිල්ලර සැපයුම්කරුවන් සඳහා පනවා ඇති එක් ප්‍රධාන කොන්දේසියක් වන්නේ දේශීය බැංකු මත රඳා නොසිට විදේශ විනිමය අවශ්‍යතා ඔවුන් විසින්ම සුරක්ෂිත කර ගැනීමේ හැකියාවයි. ඒ අනුව මෙම සමාගම් අවම වශයෙන් මෙහෙයුම් ආරම්භ කර වසරක කාලයක් තුළදී විදේශීය මූලාශ්‍ර හරහා ඉන්ධන මිලදී ගැනීම සඳහා තමන්ගේම අරමුදල් යොදා ගත යුතුය. මේ සඳහා ඔවුන්ගේ එකඟතාව ලැබීමෙන් පසු කෙටි ලැයිස්තුගත කර ඇති සමාගම්වලට ඔවුන්ගේ යෝජනා ඉදිරිපත් කිරීමට ආරාධනා කෙරිණි. 2002 අංක 33 දරන ඛනිජ තෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) (සංශෝධිත) පනතේ විධිවිධාන ප්‍රකාරව කැබිනට් මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ කමිටුව (CASC) සහ තාක්ෂණික ඇගයීම් කමිටුව (TEC) විසින් එම යෝජනා මනා ලෙස පරීක්ෂා කර, සාකච්ඡාවලට යටත්ව පහත සඳහන් සමාගම් වෙත කොන්ත්‍රාත්තු ප්‍රදානය කිරීම නිර්දේශ කරන ලදී. එම සමාගම් වන්නේ,• Sinopec Fuel Oil Lanka (Private) Limited, F5, හම්බන්තොට මැරිටයිම් සෙන්ටර්, මිරිජ්ජවිල, හම්බන්තොට.• United Petroleum Pty Ltd, 600, ග්ලෙන්ෆෙරි පාර, හෝතෝන්, වික්ටෝරියා 3122, ඕස්ටේලියාව.• Shell PLC සමඟ සහයෝගයෙන් RM Parks, 1061 N. මේන් ස්ට්‍රිට්, පෝටර්විල්, කැලිෆෝනියා 93257, ඇමරිකාව. සිනොපෙක් ෆුවල් ඔයිල් ලංකා පුද්ගලික සමාගම (M/s Sinopec Fuel Oil Lanka (Private) Limited සහ එහි මව් සමාගම් සමඟ රට තුළ සිල්ලර ඉන්ධන ව්‍යාපාරයට අවතීර්ණ වීමට අවස්ථාව සැලසෙන පරිදි පසුගිය මැයි මස 22 වනදා රජය සමඟ ගිවිසුමකට එළැඹිණි. විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි, රාජ්‍ය අමාත්‍යවරුන් වන ඩී.වී. චානක, ඉන්දික අනුරුද්ධ, ෂෙහාන් සේමසිංහ, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපති ජුලි චන්ග් යන මහත්ම මහත්මීහු සහ අදාළ අමාත්‍යාංශ ලේකම්වරු, රාජ්‍ය නිලධාරීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ. Post navigation රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ධූරයට අචාර්ය හර්ෂ ද සිල්වා නම් කෙරේ. සුදුසුකම් ලත් පාරම්පරික වෛද්‍යවරුන් 105 දෙනෙකු සඳහා ආයුර්වේද වෛද්‍ය සභාවේ ලියාපදිංචිය.