Post Views: 279 රක්නා ලංකා මුහුදු ආරක්ෂක සේවාව මගින් විදෙස් නෞකා සඳහා මුහුදු ආරක්ෂක සේවාව සැපයීමට පිටත්ව ගොස් සිටිය දී මියගිය මුහුදු ආරක්ෂක නිලධාරියාගේ මෘත දේහය දින 15 කට පසුව ඊයේ (26) සවස මෙරටට රැගෙන එන ලදී. වයස අවුරුදු 45 ක් වූ ජී පී පුෂ්පකුමාර මාතලේ පදිංචි තිදරු පියෙකි. ඔහු ශ්‍රී ලංකා නාවික හමුදාවේ සේවය කර ඉන් ඉවත්වීමෙන් අනතුරුව රක්නා ලංකා ආයතනය හරහා මුහුදු ආරක්ෂක සේවා නිලධාරියකු ලෙස වසර 5 කට ආසන්න කාලයක් සේවය කරමින් තිබුණි. පසුගිය 10 වනදා ඔහු සේවය කරමින් සිටි නෞකාවේ දෛනිකව සිදු කෙරෙන යෝග්‍යතා පරීක්ෂණයෙන් පසුව විවේක ගනිමින් සිටියදී ඇතිවූ හදිසි අසනීප තත්වයක් මත මොහු නෞකාව තුලදීම මියගොස් ඇත. අනතුරුව ඔහුගේ මෘත දේහය පසුගිය දින පහළොවක් පුරා ඕමාන් වරායේ රඳවා ගෙන තිබුණි. මොහු සේවයකල එංගලන්ත නාවික ආරක්ෂක සමාගමේ මෙරට ආරක්ෂක සැපයුම්කරු වන රක්නා ලංකා ආරක්ෂක සමාගමෙන් අදාළ ලිපි ලේඛන හා උපදෙස් ලැබීමෙන් අනතුරුව ඊයේ (26) එම දේහය මෙරටට එවීමට කටයුතු කර ඇත. ඒ අනුව, ඊයේ සවස 4.20 ට කටාර් ගුවන් සේවයට අයත් QR – 654 දරණ ගුවන් යනයෙන් පුෂ්පකුමාරගේ මෘතදේහය කටුනායක ගුවන්තොටුපල වෙත රැගෙන ආ අතර ඔහුගේ මෘත දේහය භාර ගැනීමට පැමිණි ඥාතීන් මෙම මරණය සැක සහිත බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා මෘත දේහය මීගමුව මහ රෝහල වෙත යවන ලදී. Post navigation අම්බලන්ගොඩ ධර්මාශෝක නියෝජ්‍ය විදුහල්පතිට වෙඩි තබයි. පළාත් පාලන මැතිවරණයේ අපෙක්ෂිකාව පළාත් පාලන කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ලෙස පත් කරයි.