“ජීවිතයට හැකියාවක් – හැකියාවට රැකියාවක්” තේමාව යටතේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ සිරිමාවෝ බණ්ඩාරනායක පරිශ්‍රයේ දී අද (12) Sri Lanka Skills Expo 2023 ප්‍රදර්ශනය ආරම්භ විය.

සමාරම්භක අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහභාගී වූ අතර ප්‍රදර්ශනය විවෘත කිරීමෙන් පසුව අදහස් දැක්වූ ජනාධිපතිවරයා, “මෙම ප්‍රදර්ශනය සංවිධානය කිරීම පිළිබඳ මම පළමුවෙන්ම සියලු දෙනාට ප්‍රශංසාව පළ කිරීමට කැමතියි. මෙවැනි ප්‍රදර්ශනයක් සංවිධානය කිරීමට හැකියාව තිබේ දැයි පසුගිය වසර දිහා බැලූ විට හිතන්නවත් නොහැකි තත්ත්වයක් තිබුණේ. මේ රටේ තිබු කලබලකාරි පරිසරයට අමතරව රටේ ආර්ථිකය කඩා වැටිලයි තිබුණේ. අපි නැවත මේ රටේ ආර්ථිකය ගොඩනැගීමේ වැඩපිළිවෙළ දැන් ආරම්භ කර තිබෙනවා” යනුවෙන් පැවසීය.

තවදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා, “අපි ශ්‍රී ලංකන් ගුවන් සේවයට, විදුලිබල මණ්ඩලයට, ඛනිජ තෙල් සංස්ථාවට යොදවනු ලැබූ මුදල් අධ්‍යාපන සහ සෞඛ්‍ය ක්ෂේත්‍රයට ලබාදුන්නා නම් දකුණු ආසියාවේ හොඳම අධ්‍යාපන ක්‍රමය තිබෙන රටවල් සමග අපට තරගකළ හැකි වෙනවා. අපි ඒ එකක්වත් කළේ නැහැ. දැන් අපට ණය ගෙවීමට සිදුව තිබෙනවා. මම උත්සහා කරන්නේ ඉදිරි වසර 10 තුළ හැකි ඉක්මණින් මේ ණය ගෙවා අවසන් කිරිමටයි”

“රටට ප්‍රතිලාභයක් නොලැබුණු තවත් වැඩසටහන් ගණනාවක් තිබුණා අපි තවමත් දන්නේ නැහැ ඒ මුදල්වලට මොකද වුණේ කියලා. නමුත් එවැනි වැඩසටහන්වලට අනාගතයේ මුදල් නොදී සිටිමට අප තීරණය කර තිබෙනවා. අපි පළමුව කළයුත්තේ මෙම අත්‍යවශ්‍ය නොවන වියදම් සීමා කිරීමයි. යනුවෙන්ද පැවසීය.

අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත, කම්කරු හා විදේශ රැකියා ප්‍රවර්ධන අමාත්‍ය මනුෂ නානායක්කාර, ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂි හිදෙකි (Misukoshi Hidiaki), මහතා ඇතුළු විදේශ තානාපතිවරු, රාජ්‍ය නිලධාරින් ඇතුළු ආරාධිතයින් රැසක් සමාරම්භක අවස්ථාවට සහභාගී විය.

ප්‍රදර්ශනය නැරඹීම සදහා දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම අති විශාල පිරිසක් පැමිණ සිටිය අතර පාසල් සිසුන් හා උසස් අධ්‍යාපනය ලබන ශිෂ්‍ය ශිෂ්‍යාවන් විශාල පිරිසක් ද විය. ප්‍රදර්ශනය හෙට සහ අනිද්දාත් (13,14) පැවැත්වේ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *