ජනතා පරමාධිපත්‍ය, භෞමික අඛන්ඩතාවය, සංස්කෘතිය, සභ්‍යත්වය හා සදාචාරය ආදී මෙකී නොකී වචන භාවිතා කරමින් මෙරට ජනතාව විවිධ පක්ෂ පාට වලට බෙදා වෙන්කරමින් පැවති දේශපාලනයට විරාමයක් තබමින් පොදු මහජනතාවගේ අදහස් ජනගත කරමින් පැවති ගෝල්ෆේස් අරගලය කෙසේ හෝ දේශපාලන න්‍යාය පත්‍රය යටතට ගෙන අති මහත් ඛේදවාචකයක් සිදුකල මැයි 09 සිදුවීමට අදට වසරකි.

පුද්ගල මරණ 08 ක්, බරපතල පහරදීම් 700 කට අධිකව, ගෙවල් සහ දේපල ගිනි තැබීම් 900 කට ආසන්නව සිදු කල ඒ අවාසනාවන්ත සිදුවීම් නිසා පීඩාවට පත් ජනතාව අදටත් විදවමින් සිටින වාතාවරණයක තවමත් මෙරට දේශපාලකයන් හෝ බහුතර ජනතාව තම වගකීම් ගැන නිසි අවබෝධයක් ඇතිකරගෙන තිබේද යන්න ගැටළුවකි.

මිලේච්ඡ මැයි 09 සිදුවීමට හේතු පාදක ලෙස එක් එක් අයට විවිධ තර්ක විතර්ක තිබිය හැක. කුමක් කෙසේ වුවත් රටක ඕනෑම පුරවැසියෙකුට තමන් දරන මතය ඉදිරිපත් කිරීමට සාධාරණ නිදහසක් තිබිය යුතුය. ඒ පුද්ගලයා දරන මතය නිසාවෙන් ඔහු හෝ ඇය කිසිදු විටෙක වෙනස් ලෙස සැලකීමට හෝ හිංසාවට ලක් කිරීම නොකල යුතුය.

2022 මැයි 09 වෙනිදා ගෝල්ෆේස් අරගල භූමියට පහර දීම තුලින් සිදුවූයේ පොදු ජනතාව තුල අරගලය ශක්තිමත්ව ස්ථාපිත වීමත් පාලක දේශපාලන පක්ෂය ගැන පිළිකුලක් ඇතිවීමත් ය. ඒ හා සමානව ඉන් අනතුරුව ඇතිවූ ක්‍රියාදාමය තුල යම් යම් සැලසුම් සහගත දේශපාලන න්‍යාය පත්‍ර ක්‍රියාත්මක වූ බව සබුද්ධික ජනතාව තේරුම් ගත්තද බහුතරයක් රැල්ලට යමින් මෙරට ඉතිහාසයට තවත් ඛේදනීය දිනයක් ඉතිරි කරන ලදී.

එවන් වාතාවරණයක් පසුකර පැමිණියද වසරක් ගෙවීයන අද දිනය ගැන සැලකීමේදී වුවත් මෙරට දේශපාලනය තුල මෙන්ම සමාජ ආකල්ප තුලද සැලකිය යුතු වෙනසක් සිදුව නැති බවත් පෙනී යයි. එසේ හෙයින් වර්ෂ පූර්ණය නමින් සිදුකලයුත්තේ සුවපත් හිත් යලි පෑරීම නොව පොදුවේ තම වැරදි අඩුපාඩු නිවරදි කොටගෙන රටත් සමාජයත් යහපත හෙට දිනකට ගමන් කරවීමට කටයුතු කිරීමය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *