මෙරට පරිසර පනත 80 දශකයේ සම්මත වූවක් බවත් ඉන් අනතුරුව තවත් බොහෝ සංශෝධන එයට සිදු කර තිබෙන නිසා නව පරිසර පනතක් මෙන්ම නව නීති රැසක් ඉදිරි වසර කිහිපය තුළදී හඳුන්වා දෙන බව ජනපති කියයි.

එමෙන්ම වන සංරක්ෂණ පනත සලකා බලා ප්‍රති වන රෝපණය, මුතුරාජවෙල වගුරු බිම ආරක්ෂා කිරීම සහ පරිසර සුන්දරත්වය ආරක්ෂා කිරීම සඳහා නව පනතක් ගෙන ඒමට ද කටයුතු කරන බවත් ජනපති පැවසීය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ (28) පැවති 2021-2022 ජනාධිපති පරිසර සම්මාන උළෙල අමතමිනි.

මධ්‍යම පරිසර අධිකාරිය විසින් සංවිධානය කරනු ලැබූ “ජනාධිපති පරිසර සම්මාන 2021-2022” උළෙලේදී කර්මාන්ත, ව්‍යාපාර හා ව්‍යාපෘති සහ ආයතන, ජනමාධ්‍ය හා සමාජ යන ප්‍රධාන අංශ යටතේ 90 දෙනකු වෙත රන්, රිදී, ලෝකඩ කුසලාන හා සම්මාන පිරිනැමිණි.

මෙහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,
“මේ රටේ පරිසරය සුරක්ෂිත කිරීම වෙනුවෙන් ලබා දුන් දායකත්වය සඳහා සම්මානලාභී ඔබ සියලුම දෙනාට මම ප්‍රශංසා කළ යුතුයි. ඒ වෙනුවෙන් කැපවූ සියලුදෙනාට මම ස්තුතිවන්ත වෙනවා.
ආර්ථික ප්‍රතිසංස්කරණ සහ ප්‍රතිව්‍යුහගත කිරීම ආරම්භ වන විට ශ්‍රී ලංකාව හරිත ආර්ථිකයක් බවට පත් කර ගැනීමට අපි කටයුතු කළ යුතුයි.
ශ්‍රී ලංකාව හරිත ආර්ථිකයක් බවට පත් වන විට, අපට ඒ සඳහා වන නව නීති ද අවශ්‍ය වෙනවා. අපි ඉදිරියේදී ඒ සදහා වන නීති කෙටුම්පත් කිරීමට කටයුතු කරන බවත්” පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් රන් සම්මාන ප්‍රදානය කරනු ලැබූ අතර සම්මාන ප්‍රදානයෙන් අනතුරුව ජනාධිපතිවරයා රන් සම්මානලාභීන් සමඟ සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය.

පරිසර අමාත්‍යංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ, මධ්‍යම පරිසර අධිකාරියේ සභාපති සුපුන් .එස්. පතිරගේ, අධ්‍යක්ෂ ජනරාල් පී .බී.හේමන්ත ජයසිංහ, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති ආර්. සංජීපන්, අධ්‍යක්ෂ ජනරාල් අජිත් ප්‍රේම් යන මහත්වරු ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *