නවීණ තොරතුරු තාක්ෂණය භාවිතා කරමින් කාර්යක්ෂම සේවාවක් ලබා දීම සදහා පොලිස් දෙපාර්තමේන්තුවේ ඉදිරි යෝජිත වැඩපිළිවෙල මසක් ඇතුළත ලබා දෙන ලෙස රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ඊයේ (26) පොලිස් දෙපාර්තමේන්තුව වෙත දන්වා සිටින ලදී.

2019, 2020 සහ 2021 වසරවල විගණකාධිපති වාර්තාව සහ වර්තමාන කාර්ය සාධනය පිළිබඳ පරීක්ෂාව සදහා ශ්‍රී ලංකා පොලිසිය රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට (කෝපා කමිටුවට) ඊයේ (26) කැඳවූ අවස්ථාවේදී කමිටු සභාපතිවරයා මේ බව පැවසීය. ‍

මහජන ආරක්ෂාව පිළිබද අමාත්‍යාංශයේ ලේකම්වරයා, පොලිස්පතිවරයා ඇතුළු ජේයෂ්ඨ පොලිස් නිලධාරීන් රැසක් මෙම අවස්ථාවට කැඳවා තිබිණි.

ශ්‍රී ලංකා පොලිසියේ කාන්තා පොලිස් නිලධාරීන්ගේ හිගය ඇතුළු ගැටලු පිළිබදව ද මෙහිදී අවධානය යොමුකල අතර කාන්තා පොලිස් කොස්තාපල් නිලධාරිනියන් 2419 ක පුරප්පාඩු පවතින බවත් 2023 වසරේ මෙම ප්‍රමාණය සම්පූර්ණ කිරීමට යෝජිතව තිබුනත් වත්මන් ආර්ථික තත්ත්වය මත එය සිදුකිරීමට නොහැකි වූ බවත් මෙහිදී අනාවරණය විය.

මෙහිදී පොලිස්පතිවරයා පවසා සිටියේ පොලිසිය තුළ තිබූ පැරණි තත්ත්වය වෙනස් කොට අනාගතයේ පොලිස්පති තනතුර ඇතුළු ඉහළ නිලයන්ට කාන්තාවන් සදහා අවස්ථාව ලබා දීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ සහිත වැඩපිළිවෙල ආරම්භ කොට ඇති බවයි. ඒ අනුව අනාගත කාන්තා පොලිස්පතිවරියක් බිහිවීමට අවස්ථාව සැලසෙනු ඇති බවත් ඒ මහතා පැවසීය.

එසේම පොලිසිය සතු කල් ඉකුත් වූ කදුලු වායු (tear gas) පිළිබදව මෙහිදී අවධානය යොමුකල අතර කල් ඉකුත් වූ කදුලු වායු අපහරණය කිරීමේ ක්‍රියාදාමය ආරම්භ කොට ඇති බවත් ඒවා භාවිතා නොකරන බවත් ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීහු දැනුම් දුන්හ. මේ අනුව ලංකාවේ සියලු පොලිස් ස්ථානවල පවතින කල් ඉකුත්වූ කදුලු ගෑස් අපහරණයට කටයුතු කරන ලෙස කමිටුව උපදෙස් දුන්නේය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *