පාස්කු ප්‍රහාරයට යුක්තිය ඉටුනොවීම මූලික කොටගෙන ජාතික ජන බලවේගය විසින් “යුක්තිය ඉල්ලා මොරදෙමු” යන තේමාවෙන් හෙට (21) දින මීගමුවේදී පැවැත්වීමට නියමිත විරෝධතා පෙළපාලිය සහ රැස්වීම වැලැක්වීම සදහා තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස මීගමුවේ පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතා ඇතුළු නිළධාරීන් විසින් මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉල්ලීමක් ඉදිරිපත් කරන ලදී.

අද (20) දින කල මෙම ඉල්ලීම අනුව පොලීසිය සදහන් කර සිටියේ හෙට දින කතෝලික ජනතාව විසින්ද විරෝධතාවයක් හා පෙළපාලියක් පැවැත්වීමට නියමිත අතර දේශපාලන සංවිධානයක් විසින් ඒ හා සමගාමීව විරෝධතා පාගමනක් සහ ‍රැළියක් පැවැත්වීම දේශපාලන අරමුණක් මත සිදුවන බවත්, ඒ මගින් මහජන කැළඹීමක් මෙන්ම දෙපාර්ශවය අතර ඝට්ටනයක් සිදුවීමට ඉඩ ඇති බවත් ඒ හරහා මහජනතාවට අනිසි හිරිහැරයක් සිදුවීමට ඉඩ තිබෙන බවත් ය.

කෙසේ වෙතත්, මීගමුව වැඩබලන මහේස්ත්‍රාත් ඉන්දික සිල්වා මහතා විසින් පොලිසියේ ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති අතර පොලීසිය සදහන් කර ඇති ආකාරයේ සිදුවීමක් ඇතිවීම ගැන කර ඇති උපකල්පන සම්බන්ධයෙන් සෑහීමකට පත්විය නොහැකි බවත් යම් හෙයකින් මහජන දේපල හෝ ජීවිත හානි වන ආකාරයේ සිදුවීමක් ඇතිවන්නේ නම් ඒ සදහා ක්‍රියාකිරීමට පොලීසියට බලය ඇති බවත් මහේස්ත්‍රාත්වරයා සිය නියෝගයේ දක්වා ඇත.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *