Post Views: 312 හෝමාගම විසූ නැසීගිය දානපති ව්‍යාපාරිකයෙකු වූ බමුණු ආරච්චිගේ සෙමනේරිස් අප්පුහාමි මහතා සිය පෞද්ගලික දේපලක් වූ අක්කර පහක භූමියක රෝහලකට අවශ්‍ය ගොඩනැගිලි ඉදිකර 1946 වසරේ දී එය රජයට පවරා දී හෝමාගම රජයේ රෝහල ආරම්භ කිරීමට කටයුතු කරන ලදී. එවකට හයිලෙවල් බස් සමාගමේ හිමිකරු වූ ඒ මහතා ඉන් අනතුරුවත් දිගින් දිගටම රෝහලේ අඩුපාඩු නිරතුරුවම සොයා බලමින් මහජන සුබසෙත උදෙසා කටයුතු කරන ලදී. එම පරමාදර්ශී ක්‍රියාව ආදර්ශයට ගත් ඒ මහතාගේ බාල පුතණුවන් වන බී ඒ මහීපාල මහතා තම පියාණන්ගේ වියෝවෙන් පසුව “බමුණුආරච්චි පදනම” නමින් සුභසාධන පදනමක් ආරම්භ කර ඒ හරහා තවදුරටත් හෝමාගම රෝහලේ අවශ්‍යතාවයන් සදහා සහාය ලබා දෙන ලදී. එහි ප්‍රථිපලයක් ලෙස මේ වන විටදී බමුණුආරච්චි පදනම මගින් හෝමාගම රෝහල වෙත රුපියල් බිලියනයක ට අධික වටිනාකමක් සහිත නව බාහිර රෝගී ප්‍රතිකාර ඒකකයක්, නව වාට්ටු සංකීර්ණයක් හා ශල්‍යාගාරයක් අංග සම්පූර්ණව ඉදිකර දී ඇත. තම පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් රෝහලක් ඉදිකර රජයට පවරා දී ඉන් නොනැවතී දශක ගණනාවක් ගතවීත් එහි අවශ්‍යතා සදහා කැපවෙන පරිත්‍යාගශීලී පරපුරක් ලෙස මෙම බමුණුආරච්චි පරපුර ඉතිහාස ගතවනු ඇත. එම දානපති පරපුරේ ආරම්භකයා වූ බමුණු ආරච්චිගේ සෙමනේරිස් අප්පුහාමි මහතා වර්ෂ 1948 අප්‍රියෙල් මස 09 දින හෘද්‍යාබාධයක් හේතුවෙන් අභාවප්‍රාප්ත වූ අතර ඒ මහතාගේ 75 වන ගුණානුස්මරණය හෝමාගම රෝහලේදී සිදු කෙරුණි. මේ අවස්ථාවට බමුණු ආරච්චි පවුලේ ඥාතීන් මෙන්ම හෝමාගම රෝහලේ වෛද්‍ය අධිකාරී වෛද්‍ය ජයරුවන් බංඩාර මහතා ඇතුළු රෝහල් කාර්ය මංඩලය සහභාගී විය. Post navigation කඩුවෙල වැලිවිට ශ්‍රී විජිත දහම් පාසලේ අවුරුදු සැමරුම. ජපානය, ඉන්දියාව සහ ප්‍රංශය විසින් අපේ ණය සදහා ගනු ලබන පියවර අද ප්‍රකාශ කරයි.