ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දිවයින පුරා පිහිටි සමෘද්ධි බැංකු සංගම් සාමාජිකයින් අද (06) ලෙඩ නිවාඩු දමා බැංකු වසා දමමින් විරෝධතාවක නිරත වන බව ලංකා සමෘද්ධි මහා සංගම් සහ කාර්යාල නිලධාරීන්ගේ සංගමය පවසයි.

සමෘද්ධි බැංකු පද්ධතියේ සේවක පුරප්පාඩු විසඳීම, දැනට ලබාදෙන රුපියල් දොළොස් දහසක දීමනාම වැඩි කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයකට කඩිනමින් විසඳුම් ලබාදෙන ලෙස ඉල්ලා අද දිනයේ තම සාමාජිකයින් ලෙඩ නිවාඩු දමා වෘත්තීය ක්‍රියා මාර්ගයක යෙදෙන බවයි ලංකා සමෘද්ධි මහා සංගම් සහ කාර්යාල නිලධාරීන්ගේ සංගමයේ සභාපති එන්. ඒ. අයි. බී. අබේසිංහ මහතා සදහන් කලේ.

කෙසේ වෙතත්, මෙම වර්ජනය සම්බන්ධව මාධ්‍ය හමුවක් කැදවූ සමස්ත ලංකා සමෘද්ධි සංවර්ධන හා කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරී සංගමයේ ප්‍රධාන ලේකම් ලෙස කටයුතු කරන පාර්ලිමේන්තු මංත්‍රී ජගත් කුමාර සුමිත්‍රාආරච්චි මහතා සදහන් කලේ,
වර්ජනයක් ඇති බව පැවසුවත් සමස්ත දිවයින පුරාම විහිදී ගිය 20,000 පමණ සාමාජිකත්වයක් ඇති තම සංගමය මෙම වර්ජනයට කිසිදු සහායක් නොදක්වන බවත් අද දිනත් තම සාමාජිකයන් නිසි ලෙස රාජකාරියේ නිරතව මහජනතාවට තම සේවය සැලසූ බවයි.

තව දුරටත් අදහස් දැක්වූ මංත්‍රීවරයා, “මේ වෙලාව යම් ප්‍රශ්නයක් තිබුණා උනත් ඒක විසඳගන්න උද්ඝෝෂණ, අරගල කිරීමට සුදුසුද කියලා ඕනම බුද්ධියක් තියෙන අයට තේරෙනවා. මේ දවස් වල සමහර අය රැල්ලට එහෙම නැත්තම් තම තමන්ගේ ප්‍රතිරූප ගොඩනගා ගන්න, පුද්ගලික දේශපාලන වාසි ලබා ගන්න, එහෙම නැත්තම් මේ මේ එක එක දේශපාලන පක්ෂ වල, ඕනෑකම් ඉෂ්ඨ කර ගන්න අද වැඩවර්ජන, උද්ඝෝෂණ කරන්න උත්සහා කරනවා. සමෘද්ධි ව්‍යාපාරය ඇතුලේ දේශපාලනයක් තියෙන්න පුලුවන්කමක් නෑ. සමෘද්ධි ව්‍යාපාරය හදලම තියෙන්නේ මේ රටේ විශේෂයෙන් අඩු ආදායම් ලබන අහිංසක ජනතාවට සේවය කරන්නයි. යනුවෙන් පැවසීය.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *