දෙස් විදෙස් ආයෝජකයන්ට වැඩි අවස්ථාවක් ලබාදීමේ අරමුණින් ආයෝජන සඳහා කඩිනමින් අනුමැතිය ලබා ගැනීමට හැකි වන ලෙස ආර්ථික කොමිසමක් පත්කරන බවත් ආයෝජන මණ්ඩලය හා අපනයන සංවර්ධන මණ්ඩලය වෙනුවට එම ආර්ථික කොමිසම මගින් ආයෝජන සඳහා අනුමැතිය ලබා දීමේ සැලසුම් මේ වන විට සකස් කරමින් පවතින බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ලංකාවට ආයෝජකයින් පැමිණි පසු ඔවුන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා අනුමැතිය ලබා ගැනීමට දීර්ඝ කාලයක් ගතවීම ගැටලුවක් බව පෙන්වා දුන් ජනාධිපතිවරයා එමගින් රටට ලැබීමට තිබෙන විශාල ආදායමක් අහිමිව යන බව ද පෙන්වා දුන්නේය.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ මහනුවර, හන්තාන ප්‍රදේශයේ ඉදිකළ මෙරට ප්‍රථම සංක්‍රමණික පක්ෂි උද්‍යානය සහ පරිසර සංචාරක කලාපය විවෘත කිරීමේ අවස්ථාවට අද (20) පෙරවරුවේ එක් වෙමිනි.

නව ආර්ථික සැලැස්මක් යටතේ නිෂ්පාදනය, අපනයන ආර්ථිකය සහ තාක්ෂණික අංශ දියුණු කළ යුතුයි. ඒ සඳහා දෙස් විදෙස් ආයෝජනවලට වැඩි අවස්ථාවක් ලබා දිය යුතුයි. ආයෝජකයෙක් ලංකාවට පැමිණ ආයෝජන ආරම්භ කරන්න වසර 10ක කාලයක් ගත වෙනවා නම් එයින් ආර්ථිකයට ඵලදායි වාසියක් ලැබෙන්නේ නැහැ.

ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිතුමා මහ කොළඹ ආර්ථික සැලැස්ම මාස තුනක් වගේ කෙටි කාලෙකින් සම්මත කරලා ආරම්භ කළ නිසා එහි ආර්ථික වාසිය ලංකාවට ලැබුණා. ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ ඇඟලුම් කර්මාන්ත 200 වැඩසටහනට සති තුනෙන් අනුමැතිය ලැබුණා. ඒ ආකාරයට ආයෝජන අවස්ථා වැඩි කළේ නැතිනම් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීමට හැකියාවක් නැහැ.
එසේම අපේ රටේ සංචාරක කර්මාන්තයට වටිනාකමක් ලබා දෙමින් මෙම කුරුලු උයන ජාතියට දායාද කිරීම සම්බන්ධයෙන් මම ස්තූතිවන්ත වෙනවා.

රාජ්‍ය අමාත්‍යවරුන් වන දිලුම් අමුණුගම, ලොහාන් රත්වත්තේ, අනුරාධ ජයරත්න , පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක කෝට්ටෙගොඩ, ජතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක , මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යු ගමගේ යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

By admin

Leave a Reply

Your email address will not be published. Required fields are marked *